
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පතට, ඇතැම් වගන්ති සංශෝධනය කිරීමේ යටත්ව, රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ කාරක සභාවේදී මෙම පනත් කෙටුම්පතේ විධිවිධාන සහ යෝජිත සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
සුනඛයන්ට ජලභීතිකා එන්නත් ලබාදීම, සුනඛ ගහනය පාලනය කිරීම සහ වාණිජ අරමුණු සඳහා සුනඛයන් අභිජනනය කිරීම නියාමනය කිරීම තුළින් ශ්රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්රධාන අරමුණ වේ. එමෙන්ම, සුනඛයන් ලියාපදිංචි කිරීම විධිමත් කිරීම, ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටු පිහිටුවීම සහ දැනට ක්රියාත්මක ජලභීතිකා රෝගය පිළිබඳ ආඥාපනත සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනත වෙනුවට නව නීතිමය රාමුවක් හඳුන්වාදීම ද මෙයට ඇතුළත් වේ.
පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී සුනඛයන්ට පළමු ජලභීතිකා එන්නත ලබාදිය යුතු වයස පිළිබඳ විධිවිධානවල පවතින පරස්පරතා ඉවත් කිරීමේ අවශ්යතාව පිළිබඳව අවධානය යොමු වී ඇත.
වීදි සුනඛයන්ට ස්වේච්ඡාවෙන් ආහාර ලබාදෙන, රැකවරණය සලසන හෝ ප්රතිකාර සඳහා උපකාර කරන පුද්ගලයන්ගේ නීතිමය තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබේ. එවැනි පුද්ගලයන් සුනඛයන්ට උපකාර කිරීම පමණක් හේතුවෙන් ඔවුන්ගේ නීත්යනුකූල හිමිකරුවන් ලෙස සැලකීම හෝ සුනඛ හිමිකරුවන්ට අදාළ සියලු වගකීම් ඔවුන් මත පැවරීම වැළැක්වීම සඳහා විධිවිධාන පැහැදිලි කිරීමේ අවශ්යතාව ද අවධාරණය වී ඇත.
සුනඛ වන්ධ්යාකරණය පශු වෛද්ය අධීක්ෂණය යටතේ ශල්යකර්ම මඟින් සිදු කිරීමේ වැදගත්කම ද කාරක සභාවේදී අවධාරණය කර තිබේ. හෝමෝන එන්නත් ඇතුළු විකල්ප ක්රම භාවිතයේදී මතුවන ගැටලු සැලකිල්ලට ගනිමින් සත්ව සුභසාධනය තහවුරු වන පරිදි අදාළ නීතිමය විධිවිධාන සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
මීට අමතරව, සුනඛයන් ලියාපදිංචි කිරීමේ ක්රමවේදය විධිමත් කිරීම, ලියාපදිංචි කිරීමේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල් සංශෝධනය කිරීම සහ වාණිජ සුනඛ අභිජනන මධ්යස්ථාන නියාමනය ශක්තිමත් කිරීම පිළිබඳ යෝජනා ද සාකච්ඡා කර තිබේ. සත්ව හිංසනය වැළැක්වීම සඳහා අදාළ දඩ මුදල් හා දඬුවම් සංශෝධනය කිරීමේ අවශ්යතාව ද මෙහිදී අවධානයට ලක්ව ඇත.
ජලභීතිකා රෝගය වැළඳී ඇතැයි සැක කරන සුනඛයන් නිරීක්ෂණය කිරීමේදී විධිමත් ක්රමවේදයක් අනුගමනය කිරීම සහ පශු වෛද්ය පරීක්ෂණ මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කම ද සාකච්ඡා වී ඇත. එමෙන්ම, රෝගය තුරන් කිරීම සඳහා පිහිටුවීමට යෝජිත ජාතික හා ප්රාදේශීය උපදේශක කමිටුවල සංයුතිය, වගකීම් සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය පිළිබඳව ද අවධානය යොමු කර තිබේ.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අජිත් පී. පෙරේරා, චන්දන සූරියආරච්චි, ධර්මප්රිය විජේසිංහ, මේජර් ජෙනරාල් (විශ්රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර, වෛද්ය සෙල්ලතම්බි තිලකනාදන් සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වූහ.
