
අධිකරණය විසින් ලබාදුන් නියෝග ක්රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්රාත් බන්ධුල ගුණරත්න මහතා, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
අහිංසක පුරවැසියන්ට එරෙහිව නිස්සාරණ ලෙස නඩු පැවරීම වැළැක්වීම සඳහා දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබියදී, එය ක්රියාත්මක නොකර බස්නාහිර පළාතේ ඇතැම් පොලිස් කොට්ඨාස සඳහා පමණක් මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීම මහේස්ත්රාත්වරයාගේ දැඩි විවේචනයට ලක්විය.
මෙම සිද්ධියට මුල් වී ඇත්තේ මත්ද්රව්ය ළඟ තබාගැනීමේ චෝදනා මත ගම්පහ දූෂණ මර්දන අංශය විසින් චාමර චතුරංග මාරසිංහ නමැත්තාට එරෙහිව පවරා තිබූ නඩු දෙකකි. එකම පුද්ගලයකුට එරෙහිව එකම දිනයේ නඩු දෙකක් පවරා තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ මහේස්ත්රාත්වරයා, අදාළ නඩු පැවරීමේ ක්රියාපටිපාටිය සම්බන්ධයෙන් ප්රශ්න කර තිබිණි.
මීට පෙර අවස්ථාවකදී අදාළ නඩු පැවරීම නිස්සාරණ අන්දමින් සිදුකර ඇති බවට තීරණය කළ මහේස්ත්රාත්වරයා, පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට විත්තිකරුට වන්දි ගෙවන ලෙස නියෝග කර තිබූ අතර, නිස්සාරණ නඩු පැවරීම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ වගකීම පිළිබඳව ද අවධාරණය කර තිබිණි.
අදාළ නියෝග ක්රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයාට අවස්ථා කිහිපයකදී කාලය ලබාදී තිබුණ ද, ඔක්තෝබර් 21 වන දින නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් කර තිබුණේ බස්නාහිර පළාත උතුර භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් ඔක්තෝබර් 19 වන දින නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවකි.
එම ලේඛනය පරීක්ෂා කළ මහේස්ත්රාත්වරයා, අධිකරණය නියෝග කර තිබුණේ පොලිස්පතිවරයාට බවත්, ඉදිරිපත් කර තිබූ ලේඛනය නිකුත් කර ඇත්තේ පළාත් භාර නියෝජ්ය පොලිස්පතිවරයා බවත් පෙන්වා දෙමින්, එමගින් අධිකරණ නියෝගය නිසි පරිදි ක්රියාත්මක කර නොමැති බව ප්රකාශ කළේ ය.
පොලිසියේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මහේස්ත්රාත්වරයා, මත්ද්රව්ය වැටලීම් සංඛ්යාව මාසයෙන් මාසයට ඉහළ නැංවීමේ ඉලක්ක මත පොලිස් කාර්යක්ෂමතාව මැනීම ප්රශ්න සහගත බව ද පෙන්වා දුන්නේ ය. නඩු සංඛ්යාව ඉහළ යාම පොලිසියේ කාර්යක්ෂමතාව මැනීමේ නිවැරදි නිර්ණායකයක් නොවන බවත්, නිසි සාක්ෂි මත පදනම්ව නඩු පැවරීම වැදගත් බවත් ඔහු අවධාරණය කළේ ය.
තවද, ඇතැම් නඩුවලදී රජයේ රස පරීක්ෂක වාර්තා මගින් පොලිසිය සඳහන් කළ මත්ද්රව්ය ප්රමාණවලට වඩා අඩු ප්රමාණයක් හෝ කිසිදු මත්ද්රව්යයක් අනාවරණය නොවන අවස්ථා ඇති බව ද මහේස්ත්රාත්වරයා සඳහන් කළේ ය. මෙවැනි ක්රියාමාර්ග හේතුවෙන් පොලිස් නිලධාරීන් කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය පළුදු වන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
අධිකරණ නියෝග ක්රියාත්මක කිරීම සඳහා මාස පහකට ආසන්න කාලයක් ලබාදී තිබියදීත් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් සිය අප්රසාදය පළ කළ මහේස්ත්රාත්වරයා, පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කිරීමට නියෝග කළේ ය.
