
බදු පැහැර හැරීම් වැළැක්වීම සහ නීති විරෝධී මුදල් විශුද්ධිකරණයට එරෙහිව කටයුතු කිරීමේ අරමුණින්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අද (21) පෙරවරුවේ මුදල් අමාත්යාංශයේදී අත්සන් තබන ලදී. නියෝජ්ය භාණ්ඩාගාර ලේකම් ඒ.එන්. හපුගල මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්රනාන්දු මහත්මිය සහ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා විසින් අදාළ ගිවිසුමට අත්සන් තබන ලැබීය.
මෙම නව ගිවිසුම හරහා දෙපාර්තමේන්තු දෙක අතර බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින්, සමාන්තර විමර්ශන සිදුකිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමට නියමිතය. 2026 අගෝස්තු 4 වැනිදා සිට ක්රියාත්මක වන 2026 අංක 16 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනතට අනුව, දේශීය ආදායම් පනතේ 189 වැනි වගන්තිය යටතේ වන බදු පැහැර හැරීම් සහ සුරාබදු ආඥා පනත යටතේ වන වැරදි, මුදල් විශුද්ධිකරණයට අදාළ නීති විරෝධී ක්රියාකාරකම් ලෙස පැහැදිලිව අර්ථ දක්වා ඇත.
රාජ්ය සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිත කරමින් මෙකී වැරදිවලට එරෙහිව ඒකාබද්ධව කටයුතු කිරීම මෙම පියවරේ ප්රධාන අරමුණයි. මෙමගින් බදු පැහැර හැරීම් සම්බන්ධ විගණන කටයුතු පුළුල් කිරීම, නීති විරෝධී මූල්ය ප්රවාහ සීමා කිරීම මෙන්ම රාජ්ය ආදායම් රැස්කිරීමේ ක්රියාවලිය වඩාත් විධිමත් කිරීමද අපේක්ෂා කෙරේ.
