හෙට සිට නොරොච්චෝල විදුලි බලාගාරය ජාතික පද්ධතියට එක් කිරීමට සැළසුම්!

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට (22) දිනයේ සිට නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇති බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම (NSO) පවසයි. පසුගිය සෙනසුරාදා ප්‍රධාන විදුලි පද්ධතියේ සිදු වූ හදිසි බිඳවැටීමත් සමඟ සමස්ත දිවයිනටම විදුලිය විසන්ධි වූ අතර, එහි බලපෑම හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ පළමු වන ජනන යන්ත්‍රය ද අක්‍රීය විය. අදාළ අවස්ථාවේදී එම යන්ත්‍රයේ පැවති මෙගාවොට් 187 ක ධාරිතාව එකවරම මෙගාවොට් 5 දක්වා ශීඝ්‍රයෙන් පහත වැටුණු බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිදුවීමට පෙර සිටම නොරොච්චෝල බලාගාරයේ අනෙක් ජනන යන්ත්‍ර දෙක නඩත්තු කටයුතු සඳහා අක්‍රීය කර තිබූ අතර, පළමු යන්ත්‍රය ද බිඳවැටීමත් සමඟ සමස්ත ජනන යන්ත්‍ර තුනෙහිම කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ. මේ හේතුවෙන් ජාතික විදුලි බලපද්ධතියට මෙගාවොට් 250 ක ධාරිතාවක් අහිමි වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ සහ පෙරේදා යන දින දෙකෙහිම දිවයින පුරා සැලසුම් කළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු විය.

එම විදුලි කප්පාදුව අද (21) දිනයේදීත් පෙර පරිදිම ක්‍රියාත්මක වන නමුත්, හෙට (22) වන විට නොරොච්චෝල බලාගාරය නැවත ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බැවින් හෙට දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බව ජාතික පද්ධති මෙහෙයුම් සමාගම අවධාරණය කරයි.

Social Sharing
නවතම පුවත්