
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා සිදුකළ පැහැදිලි කිරීම අභියෝගයට ලක්කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම පනත් කෙටුම්පතේ පවතින විධිවිධාන පිළිබඳව දැඩි විවේචන එල්ල කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ, යෝජිත නීතියේ පුළුල් විධිවිධාන සහ ප්රමාණවත් ආරක්ෂණ ක්රමවේද නොමැති වීම හේතුවෙන් සාමාන්ය ජනතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමට සහ දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට අවස්ථාව සැලසිය හැකි බවයි.
ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්යවරයා සිදුකළ ප්රකාශයට ප්රතිචාර දක්වමින් සාලිය පීරිස් මහතා ප්රශ්න කර ඇත්තේ, පුද්ගලයකුගේ පච්ච හෝ ඇඳුම් පැළඳුම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු භාවිත කරන ලක්ෂණවලට සමානද යන්න තීරණය කරන්නේ කවුරුන්ද යන්නයි.
අදාළ තීරණ මුලින්ම ගැනීමට සිදුවන්නේ පොලිස් නිලධාරීන්ට බව පෙන්වා දෙන ඔහු, එමගින් නීතිය අත්තනෝමතික ලෙස ක්රියාත්මක කිරීමේ අවදානමක් පවතින බව සඳහන් කරයි.
කෙසේ වෙතත්, අධිකරණ අමාත්ය හර්ෂණ නානායක්කාර මහතා මීට පෙර ප්රකාශ කර තිබුණේ පච්ච තිබීම, කොණ්ඩය වවා තිබීම හෝ විශේෂ ඇඳුම් විලාසිතා භාවිත කිරීම පමණක් හේතුවෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගත හැකි බවට කෙරෙන ප්රකාශ නිවැරදි නොවන බවයි. අදාළ විධිවිධාන සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකත්වය හඳුනාගැනීමට උපකාර කිරීම සඳහා වන බවද අමාත්යවරයා පැහැදිලි කර තිබේ.
එහෙත් යෝජිත පනත් කෙටුම්පත මගින් සැකකරුවන් රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ලබාදෙන බලතල පිළිබඳවද සාලිය පීරිස් මහතා සිය කනස්සල්ල පළ කරයි. ඔහුට අනුව, අදාළ ඉල්ලීම් මත අමාත්යාංශ ලේකම්වරයාට රැඳවුම් නියෝග නිකුත් කිරීමටත්, අධිකරණ අනුමැතියකින් තොරව දීර්ඝ කාලයක් සැකකරුවන් රඳවා තබාගැනීමටත් යෝජිත නීතිය මගින් ඉඩ සැලසේ.
තවද, මෙම පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයාට පවතින විකල්ප සීමා වන බවත්, සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා මහාධිකරණය වෙත යෑමට සිදුවීම සාමාන්ය ජනතාවට අමතර දුෂ්කරතා ඇති කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
පොලිසිය හමුවේ ලබාදෙන පාපොච්චාරණ අධිකරණයේදී සාක්ෂි ලෙස පිළිගැනීමට ඉඩ සලසන විධිවිධාන සම්බන්ධයෙන්ද ඔහු විරෝධය පළකර තිබේ. එවැනි විධිවිධාන වධහිංසා පැමිණවීම් සහ බලය අනිසි ලෙස භාවිත කිරීමේ අවදානම ඉහළ නැංවිය හැකි බව ඔහුගේ අදහසයි.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත, හදිසි නීති රෙගුලාසි සහ ICCPR පනත ඇතුළු පෙර පැවති නීති අනිසි ලෙස භාවිත වූ අවස්ථා සිහිපත් කරන සාලිය පීරිස් මහතා, එමගින් ජනතාවට සිදුවූ පීඩාවන් සැලකිල්ලට ගෙන නව නීති සකස් කළ යුතු බව අවධාරණය කරයි.
එමෙන්ම, යෝජිත පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්රියාවලිය සහ මහජන අදහස් විමසීමක් සිදුකර තිබේද යන්න පිළිබඳවද ඔහු ප්රශ්න මතුකර තිබේ.
මේ අතර, අධිකරණ අමාත්යවරයා පවසන්නේ ඇඳුම් පැළඳුම්, අභිනයන් සහ පච්ච සම්බන්ධ විධිවිධාන සිංගප්පූරුවේ සංවිධානාත්මක අපරාධ නීති ආකෘතිය මත පදනම්ව සකස් කර ඇති බවයි. එහි අරමුණ සාමාන්ය ජනතාවගේ පෙනුම අපරාධයක් ලෙස සැලකීම නොව සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකත්වය හඳුනාගැනීමට සහාය වීම බවද අමාත්යවරයා අවධාරණය කර තිබේ.
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඔක්තෝබර් 20 වැනිදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර, එය තවමත් නීතියක් බවට පත්ව නොමැත.
