දඩ මුදල් ගෙවාගත නොහැකිව රැඳවියන් 1,454ක් බන්ධනාගාරයේ!

දඩ මුදල් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 1,454 දෙනෙකු බන්ධනාගාර තුළ රඳවා සිටින බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛන අනුව, රුපියල් 10,000ත් 15,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව රැඳවියන් 421 දෙනෙකු බන්ධනාගාරගතව සිටින අතර, රුපියල් 15,000ත් 25,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව සිටින සංඛ්‍යාව 220කි.

එසේම, රුපියල් 25,000ත් 50,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව රැඳවියන් 361 දෙනෙකුද, රුපියල් 50,000ත් 100,000ත් අතර දඩ මුදල් ගෙවාගත නොහැකිව රැඳවියන් 245 දෙනෙකුද බන්ධනාගාර තුළ සිටින බව අමාත්‍යවරයා පැවසීය. රුපියල් ලක්ෂයකට වැඩි දඩ මුදල් ගෙවාගත නොහැකිව සිටින රැඳවියන් සංඛ්‍යාව 207කි.

දඩ මුදල් ගෙවාගත නොහැකිව සිටින රැඳවියන් නිදහස් කර ගැනීම සඳහා රජය සතුව වැඩපිළිවෙළක් තිබේදැයි රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විමසූ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, දැනටමත් විවිධ සංවිධාන සහ ආයතන මැදිහත් වී තෝරාගත් රැඳවියන්ගේ දඩ මුදල් ගෙවා ඔවුන් නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම, ඉදිරියේදීද ඕනෑම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතනයකට අදාළ රැඳවියන්ගේ දඩ මුදල් ගෙවා ඔවුන් නිදහස් කර ගැනීමට මැදිහත් විය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දත්ත අනුව, බන්ධනාගාර තුළ සිරකරුවන් 10,611 දෙනෙකු සහ සැකකරුවන් 28,408 දෙනෙකු සිටිති.

Social Sharing
නවතම පුවත්