ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර බලශක්ති සහයෝගීතාව පිළිබඳව සාකච්ඡාවක්!

අසර්බයිජානයේ බාකු (Baku) නුවර පැවැත්වෙන 7 වන CICA රාජ්‍ය තාන්ත්‍රික සමුළුවට සමගාමීව, අසර්බයිජාන රාජ්‍ය තෙල් සමාගමේ (SOCAR) නියෝජිතයින් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත. මාධ්‍ය නිවේදනයකට අනුව, ඊයේ දින මෙම හමුව SOCAR සමාගමේ සභාපති රොව්ෂාන් නජාෆ් (Rovshan Najaf) මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු අමාත්‍යවරයා අතර සිදුවී ඇත

මෙම හමුවේදී අසර්බයිජානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන ගෝලීය බලශක්ති ව්‍යාපෘති, SOCAR සමාගමේ විවිධාංගීකරණය වූ මෙහෙයුම් සහ එහි දීර්ඝකාලීන උපායමාර්ගික ඉලක්ක පිළිබඳව අමාත්‍යවරයාව දැනුවත් කර ඇත. තවද, අසර්බයිජානය තුළ සහ වෙනත් රටවල SOCAR සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති මෙන්ම එම සමාගම ලබා ඇති ජයග්‍රහණ පිළිබඳවද මෙහිදී අවධානය යොමුකර තිබේ. මෙහිදී SOCAR සමාගම සහ ශ්‍රී ලාංකේය සමාගම් අතර බලශක්ති ක්ෂේත්‍රයේ පවතින සහයෝගිතාව මෙන්ම දෙපාර්ශ්වයටම වැදගත් වන වෙනත් කරුණු රාශියක් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගෙන ඇත.

2022 වසරේදී ආරම්භ වූ CICA සංවිධානයේ පරිවර්තනීය ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සංවිධානය ශක්තිමත් කිරීම සහ සාමාජික රටවල් අතර ප්‍රායෝගික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා අසර්බයිජානයේ සභාපතිත්වය යටතේ ලබා ඇති ප්‍රතිඵල මෙම සමුළුවේදී සමාලෝචනය කිරීමට නියමිතය. මෙම සමුළුව සඳහා CICA සාමාජික රටවල්, නිරීක්ෂක රටවල්, නිරීක්ෂක සංවිධාන සහ සහකාර ආයතනවල රාජ්‍ය හා රාජ්‍ය නොවන නායකයින් මෙන්ම නියෝජිත පිරිස්ද සහභාගී වී සිටිති.

Social Sharing
නවතම පුවත්