
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පසුගිය මාස කිහිපය තුළ සිදු කරන ලද මානව සම්පත් සහ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමේ ධාරිතා වර්ධන වැඩසටහන් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරවල පවතින දැඩි තදබදය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ. අධිකරණ අමාත්‍යාංශයට අනුව, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාස දෙක තුළදී පමණක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වාර්තා 17,506ක් නිකුත් කර ඇත. මින් බහුතරයක් 2025 වසරේ සිට ගොඩගැසී තිබූ නඩු වලට අදාළ වාර්තා වේ. මේ හේතුවෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි රැඳවියන් සංඛ්‍යාව 41,993 සිට 36,925 දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ.
මෙම කඩිනම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස නිදහස ලැබූ ඇතැම් සැකකරුවන් වසර එකහමාරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර භාරයේ පසු වූවන් බව අමාත්‍යාංශ නිලධාරියෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේය. බන්ධනාගාරගතව සිටින සැකකරුවන් සංඛ්‍යාව 30,000 දක්වා අඩු කිරීමේ අරමුණින් මෙම මාසය අවසන් වීමට පෙර තවත් වාර්තා 8,000ක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම වසරේ අප්‍රේල් මස අවසන් වන තෙක් ලැබී ඇති සාම්පල පරීක්ෂා කර අවසන් කිරීමට දෙපාර්තමේන්තුවට හැකි වනු ඇති අතර, එමගින් බන්ධනාගාර තදබදය සහ සැකකරුවන්ගේ රක්ෂිත කාලසීමාව තවදුරටත් අඩු වනු ඇත.
මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අමාත්‍යාංශය විසින් යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය කෙරෙහි පියවර රැසක් ගෙන ඇත. කඩිනම් විසඳුමක් ලෙස, රසායන විද්‍යා උපාධිධාරීන් 50 දෙනෙකු ජූලි 31 දින සිට වසරක කාලයක් සඳහා මත්ද්‍රව්‍ය පරීක්ෂණ කටයුතු සඳහා බඳවා ගෙන තිබේ. ඊට අමතරව, තවත් ස්ථිර පුරප්පාඩු 22ක් සම්පූර්ණ කර ඇති අතර, නවකයන් සඳහා තාවකාලික රසායනාගාර පහසුකමක් ද පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත. ලබන වසරේ ජනවාරි මස දක්වා අමතර වැඩ මුර (extra shifts) යොදවා ගොඩගැසී ඇති වාර්තා කඩිනමින් නිකුත් කිරීමට රජයේ රස පරීක්ෂක කාර්යමණ්ඩලය කටයුතු කරන අතර, මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන යන්ත්‍ර සංඛ්‍යාව 6 සිට 9 දක්වා වැඩි කර ඇති බව ද සඳහන් වේ. තවද, දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය 131 දක්වා වැඩි කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ (PSC) අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියක අමාත්‍යාංශය නිරතව සිටියි.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය තවත් පාර්ශ්ව සමග එකතුව බන්ධනාගාර තදබදය හා නඩු ප්‍රමාදය සම්බන්ධයෙන් දිගින් දිගටම උද්දේශනයේ යෙදුණු අතර මෙම සංවර්ධනය දැඩි ලෙස අගය කරයි. රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් විෂ, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනතේ 54 වගන්තිය යටතේ පුද්ගලයන් දිගුකාලීනව අසාධාරණ ලෙස සිර කර තැබීම පිළිබඳ නිර්මාණය කරන ලද වාර්තා චිත්‍රපටය මෙතැනින් නරඹන්න. පහත ලින්කුව ඔස්සේ සම්බන්ධ වන්න
