
1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත අහෝසි කර, වත්මන් අවශ්‍යතා සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ගැළපෙන නව පනතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී අවධානය යොමු වී තිබේ.
ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ සංසදයේ සභාපතිවරයා සඳහන් කළේ, 1996 වසරේදී වත්මන් පනත හඳුන්වා දීමෙන් අනතුරුව ගත වූ වසර 30ක පමණ කාලය තුළ ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා නව නීතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවය දිගින් දිගටම සාකච්ඡාවට ලක්ව ඇති බවයි.
2006 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දුන් ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UN CRPD) ශ්‍රී ලංකාව විසින් 2016 වසරේදී අපරානුමත කර තිබුණ ද, එම සම්මුතියට අනුකූල වන පරිදි දේශීය නීති රාමුවක් මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.
2016 වසරේ සිට විවිධ අවස්ථාවලදී අමාත්‍ය මණ්ඩල තීරණ ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට උත්සාහ කර ඇති නමුත්, එහි මුල් අභිලාෂයන් සහ වත්මන් කෙටුම්පත අතර ඇතැම් පරස්පරතා මතුව ඇති බව ද සඳහන් විය. එබැවින් අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් ලෙස සාකච්ඡා කර එම ගැටලු නිරාකරණය කිරීමේ වැදගත්කම ද අවධාරණය කර ඇත.
මේ අතර, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික සභාවේ සාමාජිකයන්ගෙන් සමන්විත අනුකමිටුවක් විසින් නිරීක්ෂණ ඇතුළත් කර සකස් කළ ආදර්ශ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ. එම දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කර අමාත්‍යාංශය වෙත ලබාදී ඇති කෙටුම්පත සම්බන්ධයෙන් ජාතික සභාවේ අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කෙරෙන බව අමාත්‍යාංශ නිලධාරීන් විසින් පැහැදිලි කර ඇත.
මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශ ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ අදහස් ද සැලකිල්ලට ගනිමින් නීති සම්පාදන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.
එමෙන්ම, UN CRPD හි ප්‍රතිපාදනවලට අනුකූලව ස්වාධීන අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වී ඇත.
නව නීති සහ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ආබාධ සහිත ප්‍රජාවගේ සෘජු සහභාගිත්වය තහවුරු කළ යුතු බව ද ජාතික සභාවේ නියෝජිතයින් අවධාරණය කර තිබේ. “අප නැතුව අපි ගැන තීරණ ගන්න එපා” යන මූලධර්මය මත පදනම්ව, ආබාධ සහිත පුද්ගලයන්ට බලපාන නීති හා ප්‍රතිපත්ති සම්පාදනයේදී ඔවුන්ගේ අදහස් සහ නියෝජනය අනිවාර්යයෙන්ම ලබාගත යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.
ආබාධ සහිත තැනැත්තන් සඳහා සුදුසු රැකියා අවස්ථා ලබාදීම, සමාන සේවා කොන්දේසි සහ සමාන වේතන හිමිකම් තහවුරු කිරීම, රැකියා ස්ථානවල සාධාරණ පහසුකම් සැලසීම මෙන්ම රාජ්‍ය සේවයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වෙන් කර ඇති රැකියා කෝටාව සම්බන්ධ ප්‍රතිපත්ති සහ රෙගුලාසි ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබේ.
වත්මන් සමාජ හා ආර්ථික පසුබිමට මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ද ගැළපෙන පරිදි ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් තහවුරු කරන තිරසාර නෛතික රාමුවක් කඩිනමින් සකස් කිරීම සඳහා අදාළ සියලු ආයතන අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී අවධාරණය කර ඇත.
