පුද්ගලික තොරතුරු රැස් කිරීම සඳහා SLBFE නාමය අනිසි ලෙස භාවිතා කරන ව්‍යාජ වෙබ් අඩවියක් පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) නම, නිල ලාංඡනය සහ ඡායාරූප අවභාවිත කරමින් ඊශ්‍රායලයේ නොමිලේ රැකියා අවස්ථා ලබාදෙන බව පවසමින් මහජනතාවගේ පෞද්ගලික තොරතුරු රැස්කරන ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් එම කාර්යාංශය විසින් මහජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම වංචනික ක්‍රියාව මගින් ආයතනයේ අනන්‍යතාවය impersonate කරමින් බරපතල සයිබර් ආරක්ෂණ තර්ජනයක් එල්ල කරන බව පවසන කාර්යාංශය, මෙම ව්‍යාජ සබැඳිය (link) සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වෙමින් පවතින බවත්, එය SLBFE අනුමත නිල රැකියා පියවරක් ලෙස පෙනී සිටින බවත් පෙන්වා දෙයි.

මෙම ව්‍යාජ සබැඳිය ඔස්සේ යොමුකෙරෙන මාර්ගගත (online) අයදුම්පත හරහා පුද්ගලයාගේ සම්පූර්ණ නම, උපන් දිනය, ජාතික හැඳුනුම්පත් අංකය, ස්ත්‍රී/පුරුෂ භාවය සහ ජංගම දුරකථන අංකය වැනි පෞද්ගලික තොරතුරු ලබාගැනීමට කටයුතු කරයි. මෙලෙස තහවුරු නොකළ පෝරම මගින් තොරතුරු ලබාගැනීම නිසා ෆිෂිං (phishing) ප්‍රහාර, අනන්‍යතාවය සොරාගැනීම, සමාජ ඉංජිනේරු විද්‍යාත්මක (social engineering) වංචා සහ පෞද්ගලික දත්ත අවභාවිතය වැනි බරපතල අවදානම්වලට මහජනතාව ලක්විය හැකි බව කාර්යාංශය අවධාරණය කරයි.

විශේෂයෙන්ම ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමේ අරමුණින් මෙම වංචාව ක්‍රියාත්මක වන බව පෙනී යයි. මෙම තොරතුරු සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ දැඩි අවදානමක් පවතින බැවින්, එවැනි ව්‍යාජ සබැඳි හෝ අන්තර්ජාල පෝරම වෙත කිසිදු පෞද්ගලික තොරතුරක් ඇතුළත් නොකරන ලෙස SLBFE මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ වන විටත් මේ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම් කරන සියලු දෙනා නිල SLBFE තොරතුරු මූලාශ්‍ර පමණක් භාවිත කරමින් දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.

Social Sharing
නවතම පුවත්