
පවුලේ අනාගත ජීවන වියදම් සඳහා යොදා ගැනීමේ අරමුණින් මාතර, කොටුවේගොඩ පිහිටි සීමා සහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක් තැන්පත් කළ බව පවසන පියෙකු, එම තැන්පතුව කල් පිරී තිබියදීත් මේ දක්වා මුදල සහ අදාළ පොලී මුදල් ලබාගැනීමට නොහැකි වී ඇති බව පවසයි.
ඔහු පවසන පරිදි, අදාළ රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුව 2026 ජුනි 20 වන දින කල් පිරී ඇති අතර, එතැන් සිට මේ දක්වා තැන්පතු මුදල හෝ ඊට අදාළ පොලී මුදල් ලබාදී නොමැත.
පවුලේ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා මෙම තැන්පතුවෙන් ලැබෙන පොලී ආදායම භාවිත කිරීමට බලාපොරොත්තු වූ බව පවසන ඔහු, මුදල් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට තම පවුල දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී සිටින බව සඳහන් කරයි.
විශේෂයෙන්ම වැඩිහිටි දෙමාපියන්ගේ රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබාදීමේදී දුෂ්කරතා මතුව ඇති බවත්, තම දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා වැයවන වියදම් පියවා ගැනීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔහු පවසයි.
තම පවුලේ මූලික ජීවන අවශ්‍යතා පවා සපුරා ගැනීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබියදී, තමන්ට හිමි මුදල් ලබාගැනීමට නොහැකි වීම හේතුවෙන් තවදුරටත් අසරණ තත්ත්වයකට පත්ව සිටින බව ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් කඩිනම් විමර්ශනයක් සිදුකර, ස්ථාවර තැන්පතු මුදල සහ ඊට අදාළ පොලී මුදල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය පැහැදිලි කර, නීත්‍යානුකූලව ඔහුට හිමි මුදල් ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම පියා ඉල්ලා සිටියි.
ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ ජීවනෝපාය කෙරෙහි ඇතිවන බලපෑම සම්බන්ධයෙන්ද අවධානය යොමු කර, සාධාරණ හා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
මාතර අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0768182355
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
