ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!

පසුගිය අගෝස්තු 21 දින වන විට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්රමාණය ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් මිලියන 729,328 දක්වා ඉහළ ගොස් තිබුණා. දෙසතියකට පසුව, සැප්තැම්බර් 4 දින වන විට එම ප්රමාණය ඩොලර් මිලියන 785,706 දක්වා තව දුරටත් ඉහළ නංවා ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.
මෙය දෙසතියක කාලය තුළ ඩොලර් බිලියන 56 ඉක්මවන වැඩි වීමක්. එයින් ඩොලර් බිලියන 45 ඉක්මවන ප්රමාණයක් එකතු කරගෙන තිබෙන්නේ සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළයි. අගෝස්තු 28 දින වන විට සංචිත ප්රමාණය ඩොලර් මිලියන 740,803ක්ව පැවතුනා.
සැප්තැම්බර් 4 දින වන විට රුසියාව සතු වූ නිල විදේශ සංචිත ප්රමාණය ඩොලර් බිලියන 753.5ක්. සම්බාධක වලට යටත්ව ප්රයෝජනයට ගත නොහැකිව ඇති විදේශ සංචිතද එම ගණනට ඇතුළත්. මේ අනුව, සැප්තැම්බර් 4 දිනයෙන් අවසන් වූ සතියක කාලය තුළ ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්රමාණය රුසියාවේ එම ප්රමාණයද ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට විදේශ සංචිත ප්රමාණය අතින් ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින්නේ චීනය, ජපානය සහ ස්විට්සර්ලන්තය යන රටවල් තුන පමණයි.
පසුගිය අගෝස්තු 31 දින වන විට ඉන්දියාවේ සංචිත බැංකුව (මහ බැංකුව) විසින් නිකුත් කර තිබුණු සංචිත මුදල් ප්රමාණය ඉන්දියානු රුපියල් බිලියන 52,766.4ක් වූ අතර, සංචිත බැංකුව සතු වූ ශුද්ධ විදේශ සංචිත ප්රමාණයේ වටිනාකම ඉන්දියානු රුපියල් බිලියන 69,556.2ක්. මෙයින් අදහස් වන්නේ ඉන්දියාවේ සංචිත බැංකුව සතු විදේශ වත්කම් වලින් එහි සියලු විදේශ බැරකම් පියවීමෙන් අනතුරුව අගෝස්තු 31 දින පැවති විණිමය අනුපාතය වූ රුපියල් 95.56 යටතේ ඉන්දියාවේ සංචිත බැංකුව විසින් නිකුත් කර ඇති සියළුම ඉන්දියානු රුපියල් ආපසු ලබාගෙන ඒ වෙනුවට ඇමරිකානු ඩොලර් ලබා දුන්නද සංචිත බැංකුව සතුව තවත් ඩොලර් බිලියන 175.7ක් ඉතිරි වන බවයි. මෙයම වෙනත් විදිහකින් විස්තර කළහොත් ඩොලරයක වටිනාකම ඉන්දියානු රුපියල් 72.49 දක්වා අඩු වීමට ඉඩ හැරියද දැනට නිකුත් කර ඇති සියලුම ඉන්දියානු රුපියල් එම අනුපාතයට ආපසු මිල දී ගැනීමේ හැකියාවක් ඉන්දියාවේ සංචිත බැංකුව සතු බවයි.
මේ අනුසාරයෙන් ඉන්දියානු රුපියල මේ වන විට පෙනෙනවාට වඩා කොපමණ ශක්තිමත්ද යන්න තේරුම් ගත හැකියි.
උපුටා ගැනීම ඉකොනොමැට්ටා
Social Sharing
පුවත් විදෙස්