වසර 7කට ආසන්න කාලයක් ඇදී ගිය මහ බැංකු බැඳුම්කර නඩුව නොවැම්බර් 02!

2015 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (09) නියම කළේය.

මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබීය.

එහිදී නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ඇලෝසියස්, කසුන් පලිසේන, මුතුරජා සුරේන්ද්‍රන්, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ පී. ගුණවර්ධන යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කෙසේ වෙතත්, නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණය මගහැර සිටින අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඔහු නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට ද අධිකරණය මීට පෙර තීරණය කර තිබිණි.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයට දැනුම් දුන්නේ, නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් නියෝජිතයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018 වසරේදී එම සමාගමේ කටයුතු තහනම් කර ඇති බැවින්, මේ වන විට එම සමාගම ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් නියෝජිතයෙකු පෙනී සිටීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය කල් තබන ලෙසයි.

ඒ අනුව කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 02 වැනිදා පැවැත්වීමට නියම කළේය.

Social Sharing
නවතම පුවත්