
මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කිරීමට පවා කිසිසේත්ම නොපැකිළෙන බවට සහතික වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය මෙන්ම තරුණ පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් කිසිදු පැකිළීමකින් තොරව එම ව්‍යවස්ථා සංශෝධන පවා කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී ඊයේ (03) පස්වරුවේ පැවති 160 වැනි පොලිස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීම වර්තමාන පොලීසිය සතුව තිබෙන ප්‍රමුඛතම රාජකාරිය බව විශ්වාස කරන බවද ජනාධිපතිවරයා එහිදී කීය. එම බිහිසුණු රකුසා මේ රටින් තුරන් කළ යුතු බව පෙන්වා දුන් ජනපතිවරයා මෙම ව්‍යසනය විනාශ කිරීමට පොලීසිය විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටින බවද සඳහන් කළේය. ඒ පිළිබඳව පොලීසියට ගෞරවනීය ප්‍රණාමය පුදකරන බවද ජනාධිපතිවරයා පැවසීය.
මේ සමාජ දේහය පුරා පැතිර යමින් තිබෙන විෂ මත්ද්‍රව්‍ය නම් මහා බිහිසුණු රකුසා සහ සන්නද්ධ අපරාධ කල්ලි මැඬපැවැත්වීම සඳහා දායක වන ලෙස ජනාධිපතිවරයා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය.
“මම මෙම විශේෂ දිනයේදී ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, මේ වගකීම දෙවුර දරාගත් පිරිස අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කරන නිලධාරීන්ද ඉතා අතළොස්සක් සිටින බව අපිට වාර්තා වී තිබෙනවා.
ඒ වගේම බිය නිසා මේ ජාලයේ ගොදුරු බවට පත්වී සිටින නිලධාරීන් සිටිනවා. තවත් පිරිසක් මිල දී ගෙන සිටිනවා. ඔබ වහාම බිය අත්හැර මිල දී ගැනීමට නොහැකි නිලධාරියෙක් බවට පත් වෙන්න කියලා මම මේ දෙපිරිසටම ආරාධනා කරනවා. එසේ නොමැති නම් ඔබ නිල ඇඳුම අත් හරින්න. එසේ නැත්නම් නිසි විමර්ශන, පරීක්ෂණ සහ සාධක මත නිල ඇඳුම් ඉවත් කිරීමේ වගකීම ශ්‍රී ලංකා පොලීසියේ විනය භාර නිලධාරින් වෙත පැවරී තිබෙන බව මම විශ්වාස කරනවා. මහා ගෞරවයක් සහිත පොලීසිය මේ අතළොස්සක් නිසා අපකීර්තියට ලක් නොවිය යුතුයි.” යැයි ජනාධිපතිවරයා පැවසීය.
උපුටා ගැනීම දිනමිණ
