දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් 14ක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) ආරම්භ කර තිබේ.

අදාළ පෙත්සම් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගනු ලබයි.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 14ක් ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ පෙන්වා දෙන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් විධිවිධාන මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යය ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය විය හැකි බවයි.

එමෙන්ම, යෝජිත සංශෝධන මඟින් ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට ද සීමා පැනවීමක් සිදුවන බව පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නම් තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් පමණක් නොව, ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

පෙත්සම් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්