22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 37ක්!

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ඇතුළු කරුණු ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 37ක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර තිබේ.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බලපෑම් එල්ල වන බවයි. එමෙන්ම පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය හා මූලධර්ම අවභාවිත වන බව ප්‍රකාශ කරන ලෙසද ඔවුහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

යෝජිත සංශෝධනයේ දෙවැනි වගන්තිය මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව පෙත්සම්කරුවෝ පවසති.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 25 දක්වා වැඩි කිරීමට යෝජිත පනත් කෙටුම්පතේ තුන්වැනි වගන්තියෙන් යෝජනා කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම සංශෝධන මඟින් සමස්ත අධිකරණ පද්ධතියේ සංයුතිය වෙනස් කිරීමට උත්සාහ කර ඇති බවත්, එමඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් එල්ල විය හැකි බවත් පෙත්සම්කරුවන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සහකාර ලේකම් ලකිත වාකිෂ්ඨආරච්චි සහ භාණ්ඩාගාරික පසිඳු සිල්වා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත. සමගි ජන බලවේගය, සර්වජන බලය, පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ඇතුළු පිරිසක්ද පෙත්සම්කරුවන් අතර සිටිති.

යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසත්, එය සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයකට යොමු කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.

Social Sharing
නවතම පුවත්