
අතුරුදන් වූවන්ගේ පවුල් වල හදිසි අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන රුපියල් ලක්ෂ 02 ක පුනර්ජනනීය දීමනාව පවුල් 5700 කට පමණ ගෙවා තිබෙන බව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ (Office on Missing Persons) සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ මහේෂ් කටුලන්ද මහතා පවසයි.
මෙම වන්දි මුදලක් නොවන බවත් එම පවුල් වලට හිමිවන වන්දි මුදල කොපමණද යන්න තීරණය කිරීම මෙම දිනවල සිදු කෙරමින් පවතින බවත් ඒ මහතා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ අතුරුදන්වූ පවුල් සමාජිකයින් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ක්‍රියාත්මක කළ වැඩසටහනට එක් වෙමින් සභාපතිවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ අතුරුදන් වූ පුද්ගලයින් 600 ක් පමණ සිටින බවත් මධ්‍යම පළාතේ එම අගය 1000 කට ආසන්න බවත් කටුලන්ද මහතා කීය.
අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමේ ප්‍රාදේශීය කාර්යාල මාතර,යාපනය, මඩකළපුව, මන්නාරම හා කිළිනොච්චිය ප්‍රදේශ වල ක්‍රියාත්මක වන බවත් කොළඹ තිබෙන ප්‍රධාන කාර්යාලයට අමතරව තවත් ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසුවේය.
අතුරුදන් වූවන් පිළිබඳ පරීක්ෂණ කිරීමේදී 2000 වසරට පෙර හා පසු ලෙස කණ්ඩායම් දෙකකට වර්ගීකරණය කර එය සිදුකරන බවත් මේ වනවිට කාර්යාලයේ ලියාපදිංචි අතුරුදන් වූවන් සංඛ්‍යාව 23000 කට ආසන්න බවත් හෙතෙම අවධාරණය කළේය.
අතුරුදන් වූවන් සම්බන්ධ කිසිදු ලිපි ගොනුවක් වසා දමා නොමැති බවත් වන්දි දීමෙන් පසු එය වසා දමන තීරණයකද නොමැති බවත් කී සභාපතිවරයා එම පවුල් සාමාජිකයින්ගේ මානසික ප්‍රශ්න සම්බන්ධවද සොයා බැලීමක් කාර්යාලය මගින් කරන්නේ යැයි පැවසුවේය.
අතුරුදන් වූවන් සම්බන්ධයෙන් මරණ සහතික නිකුත් කිරීම සඳහා අවශ්‍යය උපකාර රෙජිස්ටාර් ජනරාල් කාර්යාලය මගින් ලබා දීමටද මැදිහත් වන බවත් අතුරුදන් වූ තම පවුල් සමාජිකයා මියගිය බවට විශ්වාස නොකරන අයට අතුරුදන් වීමේ සහතිකය (Certificate of absence) නිකුත් කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අතුරුදන් වූ පවුල් සම්බන්ධව පරීක්ෂණ කිරීම සඳහා රුපියල් මිලියන 370 ක් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමත කර තිබෙන බවත් පසුගිය ආණ්ඩු මගින්ද විවිධ අවස්ථාවල කැබිනට් පත්‍රිකා මගින් කාර්යාලයට මුදල් වෙන්කර දුන් බවත් කටුලන්ද මහතා කීය.
උපුටා ගැනීම What News
