සංචිත ඩොලර් බිලියන 15ක් නොවුණහොත් 2028 දී යළිත් ආර්ථික අර්බුදයක අවදානමක්!

ශ්‍රී ලංකාව තම විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කර නොගතහොත්, 2028 වසර අවසානයේ සිට රට යළිත් බරපතළ ආර්ථික අභියෝගයකට මුහුණදීමේ අවදානමක් පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ‘යුද්ධ දෙකකට උරදී’ කෘතිය එළිදැක්වීම වෙනුවෙන් කොළඹදී පැවැති උත්සව ඇමතූ රනිල් වික්‍රමසිංහ, 2028 වසරෙන් පසු විදේශ ණය ආපසු ගෙවීම් නැවත ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඊළඟ ප්‍රධාන අභියෝගය ඇරඹෙනු ඇති බව පැවසීය.

2026 වසර අවසාන වන විට විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 8ක් පමණ දක්වා ළඟා වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරන නමුත්, 2028 වන විට අවශ්‍ය බවට තක්සේරු කර ඇති ඩොලර් බිලියන 15ක සංචිත මට්ටමට ළඟාවීමට අවශ්‍ය ඉතිරි ඩොලර් බිලියන 7ක මුදල රට සපයා ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

රනිල් වික්‍රමසිංහ පෙන්වාදුන්නේ, අවශ්‍ය අමතර විදේශ විනිමය උපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සතුව දැනට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවයි.

ණය ආපසු ගෙවීම නැවත ආරම්භ කිරීම සඳහා සූදානම් වීමට සහ සංචිත ශක්තිමත් කිරීමට අපොහොසත් වීමෙන් රට තවත් බරපතළ ආර්ථික අර්බුදයකට ඇද වැටීමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු ඇඟවීය.

2028 දක්වා ණය ආපසු ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව සහනයක් ලබාගෙන තිබුණ ද, එයින් රටේ ආර්ථික ප්‍රශ්න ස්ථිරවම විසඳී ඇති බවක් අදහස් නොවන බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

“අපි පළමු වටය ඉවර කළා. දැන් දෙවැනි වටය පටන් ගන්න ඕනෙ” යැයි පැවසූ ඔහු, අනාගත ණය වගකීම් ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රමාණවත් විදේශ විනිමයක් උපයන්නේ කෙසේද යන්න ප්‍රධාන ගැටලුව බව වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම 2027 මාර්තු මස අවසානයේදී අවසන් වීමට නියමිත වත්මන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල් වැඩසටහනෙන් ඔබ්බට රජයේ ආර්ථික උපායමාර්ගය කුමක්දැයි ද ඔහු ප්‍රශ්න කළේය.

ස්ථාවරත්වය තහවුරු කිරීම සහ අනාගත ආර්ථික වර්ධනය සඳහා රාමුවක් සකස් කිරීමේ අරමුණින් තම රජය විසින් මහ බැංකු පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත සහ ආර්ථික පරිවර්තන පනත ඇතුළු පනත් කිහිපයක් හඳුන්වාදුන් බව හිටපු ජනාධිපතිවරයා පැවසීය.

කෙසේවෙතත්, වත්මන් ආණ්ඩුව විකල්ප සැලැස්මක් ඉදිරිපත් නොකර ආර්ථික පරිවර්තන වැඩසටහන ඉදිරියට ගෙන නොයෑමට තීරණය කර ඇති බවට ඔහු චෝදනා කළේය.

රංජිත් සියඹලාපිටියගේ පොතේ සඳහන් ආර්ථික සටන් දෙකට පසුව, 2028 න් පසු එළඹෙන අභියෝගය ශ්‍රී ලංකාවේ ‘තුන්වැනි යුද්ධය’ ලෙස රනිල් වික්‍රමසිංහ විස්තර කළේය.

“අපිට ඒ යුද්ධය දිනන්න බැරි වුණොත් අපි ලොකු අමාරුවක වැටෙනවා” යැයි ඔහු අනතුරු ඇඟවීය.

උපුටා ගැනීම Ceylon Wire

Social Sharing
නවතම පුවත්