
කෑගල්ල දිස්ත්රික්කයේ, ගලිගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බටුපිටිය වත්ත යනු දමිළ ජනයා බහුලව ජීවත් වන ප්රදේශයකි. මෙම ප්රදේශයේ ජනතාව ජීවත් වන නිවාසවල පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව 2025 ජූලි 08 වන දින ‘අයිතිය’ පිටුව හරහා අපි විග්රහ කළෙමු. අමිර්තලිංගම් ගනේෂන් යනු ද බටුපිටිය වත්තේ එවැනි ලයින් කාමරයක ජීවත් වන තරුණයෙකි. වසර 150 කටත් වඩා පැරණි ලයින් කාමරවල ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන මොහු, එම නිවාස සංකීර්ණයේ ජීවත් වන තුන්වන පරම්පරාව නියෝජනය කරයි. (අයිතියෙහි මින් පෙර අප පළකළ පුවත https://aithiya.lk/37197/kegalle-home-land-issue/)
සිය නිවසේ වහලය සහ මුළුතැන්ගෙය අලුත්වැඩියා කර ගැනීම සඳහා ඔහු විසින් වතු අධිකාරිය දැනුවත් කර ඒ සඳහා අවසර ඉල්ලා ඇත. එහිදී වතු අධිකාරිවරයා විසින් තම නියෝජිතයන් එවා අදාළ ඉඩම මැන ලබා දී තිබේ. ඉන්පසු ඔහු විසින් නිවසේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කළ ද, 2026 මැයි 15 වන දින වතු අධිකාරිය විසින් නිවසේ ඉදිකිරීම් කටයුතුවලට ඉඩ නොදී එය තහනම් කර ඇත. ඊට අමතරව ඔහුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ද සිදු කර, අධිකරණයෙන් තහනම් නියෝගයක් ද ලබාගෙන තිබේ.
මෙහිදී ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව වන්නේ, අලුත්වැඩියා කළ නිවසට අමතර අඩි තුනක පමණ භූමි ප්රමාණයක් අත්පත් කරගෙන ඇති බවයි. ප්රජාතන්ත්රවාදී අයිතීන් පවතින රටක වතු අධිකාරිය විසින් තම ශ්රමය සූරාකන බවත්, ජීවත් වීමේ අයිතිය අහිමි කරමින් තමන්ගේ සියලු මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවත් මෙම වින්දිත තරුණයා වැඩිදුරටත් පවසා සිටියි.
