නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සියලු චෝදනා පදනම් විරහිව ප්‍රතික්ෂේප කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සිය ප්‍රතිචාරය ප්‍රකාශ කර තිබේ.

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේෂසහගත බවත් ඒවා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්ය.

පසුගිය සති කිහිපය තුළ තමන් පෞද්ගලික ප්‍රහාර රැසකට ලක් වූ බව පෙන්වා දෙන අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ රහස් ගිවිසුමකට එළඹ ඇති බවටද චෝදනා එල්ල වූ බව සඳහන් කර ඇත.

එමෙන්ම, නීතිඥ වෘත්තියෙන් ඉවත් කරනු ලැබූ නාගානන්ද කොඩිතුවක්කු මහතා සහ ඔහුගේ Vinivida Foundation ආයතනය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බවද ඔහු පවසයි.

අදාළ පැමිණිල්ල ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදකයෙකුගේ බලයලත් අලෙවි නියෝජිතයෙකු වෙනුවෙන් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නීතිඥවරයෙකු ලෙස තමන් පෙනී සිටි නඩු කටයුතු සම්බන්ධ කරුණු මත පදනම් වී ඇති බව ඔහු සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජීව් අමරසූරිය පෙන්වා දෙන්නේ, තම සේවාදායකයා වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නීතිඥවරයෙකු ලෙස තම වෘත්තීය වගකීම ඉටු කිරීම සඳහා පමණක් බවයි.

තවද, නාගානන්ද කොඩිතුවක්කු මහතාද මීට පෙර නඩු කටයුතු කිහිපයකදී පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහු නීතිඥ වෘත්තියෙන් ඉවත් කිරීමෙන් අනතුරුව එය නතර වූ බවද ඔහු සිය නිවේදනයේ සඳහන් කර ඇත.

දැනුවත්ව අසත්‍ය චෝදනා ඇතුළත් පැමිණිල්ලක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම දූෂණ විරෝධී පනතේ 119 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවද ඔහු අවධාරණය කර තිබේ.

පුද්ගලික ප්‍රහාර හේතුවෙන් තමන් අධෛර්යයට පත් නොවන බවත්, නීතියේ ආධිපත්‍යය සහ ආයතනික ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරියටත් තම වෘත්තීය වගකීම් අවංකව ඉටු කරන බවත් රජීව් අමරසූරිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Social Sharing
අවකාශය පුවත්