
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) සහ හෙට (25) යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම කාලසටහනට අනුව දෙදින තුළම පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා අදාළ පනත් කෙටුම්පත්වල දෙවන වර කියවීම වෙනුවෙන් දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවේ. දෙදින විවාදය අවසානයේ හෙට පස්වරුවේදී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන තීරණාත්මක ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ලබාදුන් තීන්දුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පසුගිය සැප්තැම්බර් 22 වනදා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී. අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් (තුනෙන් දෙකක බහුතරයකින්) මෙය සම්මත කරගත හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය මගින් පෙන්වා දී තිබේ.
