
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, රජය සතු ප්‍රධාන ව්‍යවසාය 53ක් අතරින් ආයතන 13ක් 2026 වසරේ පළමු මාස හය තුළ ශුද්ධ අලාභ වාර්තා කර තිබේ.
කෙසේ වෙතත්, ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර 51ක් විසින් 2025 වසරේ පළමු මාස හය තුළ වාර්තා කළ රුපියල් බිලියන 227.8ක සමස්ත ලාභය, 2026 වසරේ සමාන කාලසීමාව තුළ රුපියල් බිලියන 259.3ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.
අලාභ ලබන රාජ්‍ය ආයතන අතරින් ඉහළම අලාභය වාර්තා කර ඇත්තේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමයි. 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු මාස තුන තුළ එම සමාගම රුපියල් බිලියන 35.6ක බදු පෙර අලාභයක් වාර්තා කර තිබේ.
අදාළ කාලසීමාව තුළ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 82.8ක් දක්වා ඉහළ ගොස් තිබුණ ද, වියදම් රුපියල් බිලියන 95.2ක් දක්වා ඉහළ යාම හේතුවෙන් මෙම අලාභ තත්ත්වය ඇති වී තිබේ. විශේෂයෙන් ගුවන් යානා ඉන්ධන පිරිවැය සියයට 93කින් පමණ ඉහළ යාමත්, මැදපෙරදිග කලාපයේ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා ඇතිවීමත් සමාගමේ මූල්‍ය කාර්යසාධනයට අහිතකර ලෙස බලපා ඇත.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට අමතරව වැඩිම අලාභ වාර්තා කළ ආයතනය වන්නේ සීමාසහිත ලංකා සීනි සමාගම වන අතර එහි ශුද්ධ අලාභය රුපියල් මිලියන 1,525කි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 471ක ද, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 193ක ද, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 185ක ද ශුද්ධ අලාභ වාර්තා කර තිබේ.
එමෙන්ම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව රුපියල් මිලියන 182ක ද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව රුපියල් මිලියන 166ක ද, සීමාසහිත ලංකා සතොස සමාගම රුපියල් මිලියන 89ක ද ශුද්ධ අලාභ වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රුපියල් මිලියන 68ක ද, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව රුපියල් මිලියන 60ක ද, ස්වාධීන රූපවාහිනී ජාලය රුපියල් මිලියන 37ක ද අලාභ වාර්තා කර තිබේ.
මීට අමතරව ජනතා වතු සංවර්ධන මණ්ඩලය රුපියල් මිලියන 26ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් 2026 මාර්තු මාසයේදී මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ. එම ඒකකය මේ වන විට තෝරාගත් රාජ්‍ය ව්‍යාපාර 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව ද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
