
හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී අභිරහස් අන්දමින් මියගිය ඉෂාර හර්ෂ කුමාර නමැති තරුණයාට පොලිස් නිලධාරීන් පහරදී පසුව සිරමැදිරියට ගෙනැවිත් දැමූ බවට එම සිරමැදිරියේම රඳවා සිටි තවත් සැකකරුවකු ප්රකාශ කර තිබේ.
එම සැකකරු පොලිස් ප්රශ්න කිරීම් හමුවේ සඳහන් කර ඇත්තේ, ඉෂාර හර්ෂ කුමාර සිරමැදිරියට ගෙන එන අවස්ථාව වන විටත් ඔහුට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක සිටි බවයි.
මත්ද්රව්ය චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නුගේගොඩ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්, අදාළ සැකකරු රඳවා සිටින බන්ධනාගාරය වෙත ගොස් ඔහුගෙන් ප්රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම සැකකරු සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ප්රකාශයක් ලබාදී ඇති අතර, ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර ඇත.
මේ වන විට මෙම මරණය සම්බන්ධයෙන් සිවිල් පුද්ගලයන් අට දෙනකුගෙන් සහ පොලිස් නිලධාරීන් නව දෙනකුගෙන් ප්රශ්න කර ප්රකාශ සටහන් කරගෙන තිබේ.
හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී 29 හැවිරිදි එක්දරු පියකු වූ ඉෂාර හර්ෂ කුමාර මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මේ වන විට බන්ධනාගාරගත කර සිටියි.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ තවත් උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කර තිබේ. රාජකාරි පැහැර හැරීමේ චෝදනා මත හෝමාගම මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ද වැඩ තහනම් කර ඇත.
මේ අතර, සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්රියාත්මක වන අතර, අදාළ සැකකරු විසින් සිදුකර ඇති ප්රකාශ සහ අනෙකුත් සාක්ෂි මත ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙනු ඇත.
