
පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්රමාද නොකර පැවැත්වීමටත්, ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම සඳහා විකල්ප ඡන්ද ක්රම හඳුන්වා දීමටත් රජය, පාර්ලිමේන්තුව සහ අදාළ ආයතන කඩිනමින් පියවර ගත යුතු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්රියාකාරීත්වය (PAFFREL) අවධාරණය කරයි.
විකල්ප ඡන්ද ක්රම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ 23ක් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී, පක්ෂ 22ක් එනම් 95.7%ක් තැපැල් ඡන්ද ක්රමය පුළුල් කිරීමට එකඟතාව පළ කර ඇත. එසේම, කලින් ඡන්දය ප්රකාශ කිරීම, විකල්ප ඡන්ද මධ්යස්ථාන ස්ථාපිත කිරීම සහ විදේශගත ශ්රී ලාංකිකයන්ට ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාව ලබාදීම පිළිබඳව ද සහයෝගය පළ වී ඇත.
ඒ අනුව PAFFREL අවධාරණය කරන ප්රධාන කරුණු:
– පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නිශ්චිත කාලරාමුවක් කඩිනමින් ප්රකාශයට පත් කිරීම.
– තැපැල් ඡන්ද ක්රමය පුළුල් කිරීම සහ කලින් ඡන්දය ප්රකාශ කිරීමේ ක්රම හා විකල්ප ඡන්ද මධ්යස්ථාන නියමු ව්යාපෘති ලෙස අත්හදා බැලීම.
– ආබාධ සහිත පුද්ගලයන්, රෝහල්ගතව සිටින රෝගීන්, රිමාන්ඩ් බන්ධනාගාරගත පුද්ගලයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන් ඇතුළු සුදුසුකම්ලත් සියලු දෙනාට ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව සැලසීම.
– විනිවිදභාවයෙන් යුත් ක්රියාපටිපාටි, ස්වාධීන නිරීක්ෂණය සහ නියමු ව්යාපෘතිවල ප්රතිඵල පිළිබඳ ප්රසිද්ධ ඇගයීමක් සහතික කිරීම.
සුදුසුකම්ලත් කිසිදු පුරවැසියෙකුට තම රැකියාව, පවතින තත්ත්වය හෝ පදිංචි ස්ථානය හේතුවෙන් ඡන්දය ප්රකාශ කිරීමේ අයිතිය අහිමි නොවිය යුතුය. මෙම මාධ්ය සාකච්ඡාව ඔක්තෝබර් 22 වන දින ශ්රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැත්විණි.
