යේමනය බලා ගිය සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් දරුවන් ඇතුළු 109ක් මරුට!

ජිබූතියේ සිට යේමනය බලා ගමන් කරමින් තිබූ සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් දරුවන් 15 දෙනෙකු ඇතුළු පුද්ගලයින් අවම වශයෙන් 109 දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත්තේ මෙම අනතුරෙන් තවත් පුද්ගලයින් 116 දෙනෙකුට අධික පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, ජිබූතියේ ඔබොක් වරාය නගරයට උතුරින් පිහිටි ගුහෙරේ (Guhere) ප්‍රදේශය ආසන්න මුහුදේදී පසුගිය 8 හෝ 9 වැනිදා රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබේ.

දිවි ගලවාගත් පුද්ගලයින්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේදී බෝට්ටුවේ පුද්ගලයින් 305 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බවයි. ඉන් පුද්ගලයින් 80කට අධික පිරිසක් දිවි ගලවා ගැනීමට සමත්ව තිබේ.

බෝට්ටුවේ ගමන් කර ඇත්තේ ඉතියෝපියානු ජාතිකයින් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් ලබාගැනීමට කළ ඉල්ලීම්වලට ඉතියෝපියානු රජය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, අනතුරෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 109ක් සොයාගෙන ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) තහවුරු කර තිබේ.

එම සංවිධානයට අනුව මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයින් 52ක්, කාන්තාවන් 42ක් සහ දැරියන් 9 දෙනෙකු ඇතුළු දරුවන් 15 දෙනෙකු සිටින බව සඳහන් වේ.

අප්‍රිකාවේ අඟ ප්‍රදේශයේ සිට යේමනය හරහා ගල්ෆ් කලාපය වෙත යාමට උත්සාහ කරන සංක්‍රමණිකයින් භාවිත කරන මුහුදු මාර්ගය ලොව අවදානම් සහගත සංක්‍රමණික මාර්ග අතරින් එකක් ලෙස සැලකේ. මෙම අනතුර එම ගමන් මාර්ගයේ පවතින ජීවිත අවදානම යළිත් ඉස්මතු කරයි.

Social Sharing
පුවත් විදෙස්