
මෙරට ප්රමුඛ රාජ්‍ය බැංකුවක ප්‍රධාන මුදල් අයකැමි ලෙස සේවය කරමින් රුපියල් කෝටි 13කට අධික මුදලක් සිය පෞද්ගලික ගිණුමකට බැර කර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් 31 හැවිරිදි නිලධාරියෙකුට වසර 15කින් ගෙවී යන පරිදි සිරදඬුවම් නියම කිරීමට හෝමාගම මහාධිකරණය ඊයේ (09) නියෝග කළේය.
හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රිෂාන්ති අමරතුංග මහත්මිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබූ අධිචෝදනා තුනටම වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම් නියම කෙරිණි. ඒ අනුව පළමු අධිචෝදනාවට බරපතළ වැඩ සහිතව වසර 15ක සිරදඬුවමක්ද, දෙවන අධිචෝදනාවට බරපතළ වැඩ සහිතව වසර 15ක සිරදඬුවමක්ද, තෙවන අධිචෝදනාවට ලිහිල් වැඩ සහිතව වසර පහක සිරදඬුවමක්ද නියම කර තිබේ. එම දඬුවම් වසර 15කින් ගෙවී යා යුතු බවට අධිකරණය නියෝග කළ අතර, දැනට සිරගතව සිටි කාලයද දඬුවමෙන් අඩු කිරීමට නියෝග කළේය.
2025 මැයි මාසයේදී සිදුවූ බව කියන මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබිණි. ප්‍රධාන මුදල් අයකැමි ලෙස සේවය කළ විත්තිකරු බැංකුවේ මුදල් සිය පෞද්ගලික ගිණුමකට බැර කර ගැනීම සහ බැංකු ගිණුම්වල මුදල් මෘදුකාංග භාවිතයෙන් ව්‍යාජ ලෙස පරිවර්තනය කිරීම ඇතුළු චෝදනා ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබිණි.
නඩුවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා පෙන්වා දුන්නේ, බැංකුවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුව ඇතැම් මුදල් ගනුදෙනු සඳහා දෙවන පෙළ නිලධාරියෙකුගේ අනුමැතිය ලබාගත යුතු බවයි. සිද්ධිය වූ දිනයේ සවස ගිණුම් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 13කට අධික මුදලක් පෞද්ගලික ගිණුමකට බැර වී ඇති බව බැංකු කළමනාකාරිනියට අනාවරණය වූ බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටිමින් කියා සිටියේ, අන්තර්ජාලය ඔස්සේ මුදල් ආයෝජනය කිරීමේ වංචාවකට විත්තිකරු හසුවී ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ලැබුණු සබැඳියක් හරහා මුදල් ආයෝජනය කර තිබූ ඔහුට, එම මුදල් ආපසු ලබාගැනීම සඳහා රුපියල් 13,51,02,957.75ක මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දී තිබූ බවද නීතිඥවරුන් සඳහන් කළේය.
මෙම වංචාවට විදේශීය පුද්ගලයෙකු සම්බන්ධ බවත්, වෙනත් රාජ්‍ය බැංකුවක ගිණුම් 11ක් භාවිත කරමින් වංචා කළ මුදල් ක්‍රිප්ටෝ මුදල් බවට පරිවර්තනය කර විදේශගත කර ඇති බවත් විත්තිකරුගේ නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. ඒ අනුව, විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී මෙම කරුණු සලකා බලන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, දඬුවම් නියම කිරීමේදී විනිසුරුවරිය අවධාරණය කළේ, සාමාන්‍ය ජනතාව විශ්වාසයෙන් මුදල් තැන්පත් කරන රාජ්‍ය බැංකුවක සිදුවූ මෙවැනි වංචාවක් සම්බන්ධයෙන් සමාජයට පැහැදිලි පණිවිඩයක් ලබාදීම අවශ්‍ය බවයි.
එමෙන්ම, බැංකුවෙන් වංචා කළ බවට චෝදනා එල්ල වූ රුපියල් කෝටි 13කට අධික මුදල වන්දියක් ලෙස අදාළ බැංකුවට නැවත ගෙවන ලෙසද අධිකරණය නියෝග කළේය. එම මුදල නොගෙවන්නේ නම් වසර හතරක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවද විනිසුරුවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
