
විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා අද (09) පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ දැනුම් දෙමින් මේ බව සඳහන් කළේය.
ඒ අනුව, 2026 අංක 79 දරන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී නිශ්චිත සංශෝධන කිහිපයක් සිදුකිරීමට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
එම සංශෝධන යෝජිත 77අ(5) වගන්තියට අදාළ වන අතර, සැකකරුවෙකු අධිකරණය හමුවේ පෙනී සිටීම සහ අදාළ වාර්තා සැකකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට භාරදෙන දිනය සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීම ඊට ඇතුළත් වේ.
මේ අතර, 2026 අංක 80 දරන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව, එම පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
