
ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා ඇතුළු නියෝජිත පිරිස ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ. මෙම හමුවේදී IMF විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ අත්කරගෙන ඇති ප්‍රතිඵල සම්බන්ධයෙන් සිදුකෙරෙන හත්වැනි සමාලෝචනය පිළිබඳව විශේෂ අවධානය යොමුවී ඇත. ශ්‍රී ලංකාව සඳහා වන IMF නේවාසික නියෝජිත මාර්තා ටෙස්ෆායේ වෝල්ඩමිකෙල් මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, අභියෝගාත්මක තත්ත්වයන් සහ බාහිර බලපෑම් හමුවේ වුවද ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව අවධාරණය කළාය. රජය බලයට පත්ව වසර දෙකක් සම්පූර්ණ වීමෙන් අනතුරුව අත්කරගෙන ඇති ප්‍රගතිය සඳහන් කළ ඇය, IMF ආයතනය විසින් විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව ලබාදෙන සහාය මෙන්ම තිරසර ආර්ථික වර්ධනයක් උදෙසා අඛණ්ඩව සහාය දැක්වීමට දක්වන කැමැත්තද ඇගයීමට ලක්කළාය. සංවර්ධන හවුල්කරුවන් සමඟ කටයුතු කිරීමේදී තිරසර, වගවීමකින් යුත් සහ සියලු දෙනා ඇතුළත් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන වත්කම් ප්‍රකාශවල පෞද්ගලිකත්වය හා විනිවිදභාවය අතර සමතුලිතතාව පවත්වා ගැනීම කෙරෙහිද අවධානය යොමු කළාය.
