
2026 සැප්තැම්බර් මස 8 වන දින වැලිගම ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය පැවැත්විණි. වසර ගණනාවක් පුරා ප්‍රාදේශීය සභා කටයුතු වාර්තා කරමින් මාධ්‍යකරණයේ නිරතව සිටින මාධ්‍යවේදී ලලිත් පත්මසිරි මහතා ද සුපුරුදු පරිදි එදින සිය මාධ්‍ය ආවරණ කටයුතු සඳහා වැලිගම ප්‍රාදේශීය සභා පරිශ්‍රයට පැමිණ තිබේ.
සභා පරිශ්‍රයේදී සභාවේ මුරකරුවෙකු විසින්, ලලිත් පත්මසිරි මහතාට මාධ්‍ය ආවරණ කටයුතු සඳහා අවස්ථාව ලබා නොදෙන ලෙස “ඇමතිතුමා” දැනුම් දී ඇති බව පවසා තිබේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර අවධානයක් යොමු නොකළ මාධ්‍යවේදී ලලිත් පත්මසිරි මහතා, මහජනතාවට සභාවේ සිදුවන කටයුතු පිළිබඳ තොරතුරු ලබාදීමේ අරමුණින් සභා ගර්භයට පිවිස තිබේ.
එහිදී ලලිත් පත්මසිරි මහතා දුටු සභාපතිවරයා, ඔහුට එම සභාවේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව පවසා තිබේ. ඒ සඳහා හේතුව ලෙස සභාපතිවරයා සඳහන් කර ඇත්තේ, මාධ්‍යවේදී ලලිත් පත්මසිරි මහතා විපක්ෂයට වාසිදායක පෝස්ට් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවයි.
සභාපතිවරයාගේ මෙම තීරණයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා විරෝධය පළ කර ඇති අතර, එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් ලලිත් පත්මසිරි මහතා මුදල් ලබාගෙන විපක්ෂයේ පෝස්ට් හුවමාරු කරන බවට චෝදනා කර තිබේ.
සභාපතිවරයාගේ තීරණයට අනුව මාධ්‍ය ආවරණ කටයුතු සිදු කිරීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් ලලිත් පත්මසිරි මහතා සභා පරිශ්‍රයෙන් පිටව ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදී ලලිත් පත්මසිරි මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉමදූව මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මැදිහත් වී කටයතු කරන අතර ඔබ හෝ ඔබ හඳුනනා අයෙකුට මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයකට හෝ යම් අගතියකට ලක්ව ඇත්නම්, ඒ සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීමට අවශ්‍ය නම්, ඔබට ආසන්නයේ පිහිටි මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානයක් සමඟ සම්බන්ධ විය හැකිය.
ඉමදූව අවට සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් නීති ආධාර ලබා ගැනීම සඳහා 0760943638
එසේත් නැතිනම්,
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය
011 266 9100
