මෙරට සමස්ත මරණවලින් 80%කට හේතුව බෝනොවන රෝගයි!

මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කට පමණ බෝනොවන රෝග (NCDs) හේතු වී ඇති බවත්, එම රෝග අතර අධික රුධිර පීඩනය සහ දියවැඩියාව ප්‍රධාන ස්ථානයක් ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අධික රුධිර පීඩනය සහ දියවැඩියාව එකිනෙක සම්බන්ධ වීම හේතුවෙන් පුද්ගල සෞඛ්‍යයට බරපතළ සංකූලතා රැසක් ඇතිවිය හැකි අතර, එහි ප්‍රධානතම සංකූලතාවක් ලෙස හෘදයාබාධ හඳුනාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (16) පස්වරුවේ එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයන් අතරින් සාර්ථකව රෝගය පාලනය කරගන්නා පිරිස 50%ක් පමණක් වන අතර, දියවැඩියා රෝගීන් අතරින් නිසි පාලනයක සිටින්නේ 25%ක් වැනි සුළු ප්‍රතිශතයක් බවද ලේකම්වරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් බෝනොවන රෝග මේ වන විට මෙරට සමාජයට බලපාන ප්‍රධාන සෞඛ්‍ය අභියෝගයක් බවට පත්ව ඇති බව ඔහු අවධාරණය කළේය.

රට පුරා නවීන සෞඛ්‍ය පහසුකම් සංවර්ධනය කිරීමත් සමඟම, රටේ ජනගහන ව්‍යුහයේ සහ රෝග රටාවේ සිදුව ඇති වෙනස්කම් හඳුනාගෙන ඒ අනුව සෞඛ්‍ය පද්ධතියද ප්‍රතිසංවිධානය කළ යුතු බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින වැඩපිළිවෙළේ ප්‍රධාන අංශ තුනක් ලෙස ආරෝග්‍යා (Arogya), Cluster Systems සහ High-End Care Institutions හඳුන්වා දිය හැකි බවද ඔහු සඳහන් කළේය.

Social Sharing
නවතම පුවත්