
ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව සමාජ මාධ්‍යයේ සංසරණය වන අසත්‍ය පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම.
“කොස්තාපල් පුඤ්ඤසෝමගේ දූෂණ මෙන්න. සපත්තු පොලිෂ් ටින් එකෙන් ගසා කයි ලෝකය තහනම් කල Hytera සමගත් ඩීල්” යනුවෙන් සඳහන් කරමින් පුවතක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
එම පුවත මගින් ශ්‍රී ලංකා පොලිසියේ නිලධරයන්ගේ භාවිතයට ලබා ගන්නා පොලිෂ් ටින් සහ බොඩි කැමරා (Body Cam) ලබා ගැනීමේ ක්‍රියාවලිය විවේචනයට ලක් කරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ කීර්තිනාමයට හානි වන අයුරින් අදාල පුවත පලකර ඇති බව නිරීක්ෂණය වේ.
එසේ සංසරණය වන පුවතෙහි සඳහන් කරුණු සාවද්‍ය හා පදනම් විරහිත බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි.
ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා පොලිෂ් ටින් ලබා ගැනීම වෙනුවෙන් පුවත්පත් දැන්වීම් පල කිරීමෙන් අනතුරුව ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුගතව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිර්දේශ කර ඇති ආයතන අතරින් සාරානුකූලව අවම ලංසුව ඉදිරිපත් කර ඇති ආයතනය වෙත ලංසු ප්‍රධානය සිදු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසියට මූල්‍යමය වශයෙන් වාසිදායක වන පරිදි අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ආයතනය වෙත ලංසු ප්‍රධානය කර ඇති බවට ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් දන්වා සිටී.
මෙම ක්‍රියාවලියේදී කිසිසේත්ම පෞද්ගලික හිතවත්කම් මත අදාල ටෙන්ඩරය ප්‍රධානය කිරීමක් සිදු කර නොමැති අතර එවැනි ආකාරයට පොලිස්පතිතුමාගේ නම සඳහන් කරමින් පලවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි. එසේම ශ්‍රීලංකා පොලිසියේ නිලධරයන්ට රාජකාරි ඉටු කිරීමේදී නව තාක්ෂණයට අනුගත වෙමින් කටයුතු කිරීම සඳහා නිල ඇඳුමේ පැලඳිය හැකි බොඩි කැමරා (Body Cam) ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර මේ සඳහා ආයතන 26ක් විසින් ලංසු ඉදිරිපත් කර ඇති අතර ඉන් ආයතන 15කින් ආදර්ශ ඉදිරිපත් කර ඇති අතර මෙතෙක් මෙම ටෙන්ඩර් ප්‍රධානය කිරීමට අදාලව කිසිදු තීරණයක් ගෙන නොමැති අතර එය මේ වන විටත් ලංසු ඇගයීම් කමිටුවේ ඇගයීම් ක්‍රියාවලියේ පවතින ටෙන්ඩරයකි.
මෙවැනි පදනම් විරහිත අසත්‍ය පුවත් සමාජ ගත කිරීම තුලින් පොලිස්පතිතුමාගේ සහ ශ්‍රී ලංකා පොලිසියේ කීර්ති නාමයට හානි වන අතර ඒ තුලින් මහජනයා තුල ශ්‍රී ලංකා පොලිසිය කෙරෙහි වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙනු ඇත.
මෙසේ අසත්‍ය හා පදනම් විරහිත පුවත් සමාජ ගත කරන්නන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද අවධාරණය කර සිටී.
උපුටා ගැනීම පොලිස් ෆේස්බුක් පිටුවෙන්
