වසර ගණනාවක් පුරා නොගෙවා පැවති රාජ්‍ය වැවිලි ආයතන සේවකයන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීම සඳහා රුපියල් මිලියන 4,506ක (රුපියල් බිලියන 4.5ක) මුදලක් වෙන් කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව, හිඟ පාරිතෝෂික දීමනා ගෙවීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ඊයේ (10) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. එහිදී සංකේතාත්මකව සේවකයින් 303 දෙනෙකු වෙත හිඟ පාරිතෝෂික මුදල් සඳහා අදාළ චෙක්පත් ප්රදානය කෙරිණි.
මෙහිදී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ (SLSPC) සේවකයින් 164 දෙනෙකුට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (JEDB) සේවකයින් 87 දෙනෙකුට සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ (EPL) සේවකයින් 52 දෙනෙකුට චෙක්පත් ලබාදීම සිදු විය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධ මෙම රාජ්‍ය වැවිලි ආයතන තුනෙහි පෙර පැවති මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් සේවකයන්ට හිමි ව්‍යවස්ථාපිත දීමනා වසර ගණනාවක් පුරා ගෙවා නොතිබිණි.
එම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ මූලික මැදිහත්වීමෙන් 2025 මාර්තු 5 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අනතුරුව හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සඳහා රුපියල් මිලියන 1,961ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සඳහා රුපියල් මිලියන 2,043ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සඳහා රුපියල් මිලියන 503ක් වශයෙන් සමස්ත රුපියල් මිලියන 4,506ක මුදලක් අනුමත කර තිබේ.
පරම්පරා ගණනාවක් පුරා මෙරට ආර්ථිකය ගොඩනැගීම සඳහා සිය ශ්‍රමය සහ දහඩිය කැප කළ වතු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍යයේ වගකීමක් බව මෙහිදී අවධාරණය කෙරිණි. කම්කරුවාගේ ශ්රමයට නිසි වටිනාකමක් ලබාදීම, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ගෞරවාන්විත ජීවිතයක් සඳහා අවශ්‍ය ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව සඳහන් විය.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්තිය හුදෙක් සටන් පාඨයකට සීමා නොවී, රටේ ආර්ථිකයට දායක වූ කම්කරු ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් බවද මෙහිදී පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ අදාළ වැවිලි ආයතනවල සභාපතිවරුන් හා නිලධාරීන් සහ ප්‍රතිලාභී සේවක ජනතාව එක්ව සිටියහ
මුලාශ්‍රය: දිනමිණ

