
ගාල්ල ප්‍රදේශයේ පාසලකට ළමුන් දෙදෙනෙකු ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ බව කියන විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වාර්තා වන අන්දමට, සැකකාර විදුහල්පතිවරයා විසින් දරුවන් දෙදෙනා පාසලට ඇතුළත් කරදීම සඳහා එක් දරුවෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින්, දරුවන් දෙදෙනා වෙනුවෙන් රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා ඇත.
පසුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා අඩු කර ඇති අතර, ඉන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාගෙන 2026 වසරේ පළමු ශ්‍රේණියට එක් දරුවෙකු ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්ය.
අනෙක් දරුවා 08 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සඳහා ඉතිරි රුපියල් ලක්ෂ එකහමාරක මුදලින් රුපියල් 50,000ක මුදලක් ලබාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
ඉන් අනතුරුව, දරුවන් දෙදෙනා පාසලේ රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා තවත් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් සැකකාර විදුහල්පතිවරයා විසින් ඉල්ලා ඇති බව වාර්තා වේ.
එම මුදල ලබා නොදුනහොත් දරුවන් දෙදෙනාම පාසලෙන් ඉවත් කරන බවට පවසා ඇති අතර, එසේ නොකර සිටීම සඳහා ඉල්ලා සිටි රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල අල්ලස් ලෙස ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර විදුහල්පතිවරයා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
