ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය 2026 දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරයි – සුනන්ද දේශප්‍රිය


2026 අගෝස්තු 19 වැනි දින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලද යෝජිත “දූෂණ විරෝධී (සංශෝධන)” පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය 2026 අගෝස්තු 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. මෙම පනත් කෙටුම්පත මගින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට ගැටලු සහගත සංශෝධන කිහිපයක් යෝජනා කර ඇති බැවින්, මහජන සුභසිද්ධිය මුල් කර ගනිමින් මෙම පෙත්සම ගොනු කිරීමට TISL ආයතනය තීරණය කර තිබේ.

ප්‍රධාන පනත වන 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යනු ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී බලාත්මක කිරීමේ රාමුව ශක්තිමත් කිරීම සඳහා ගෙන ආ සන්ධිස්ථානීය ප්‍රතිසංස්කරණයකි. කෙසේ වෙතත්, යෝජිත සංශෝධන මගින් දැඩි ප්‍රතිපත්තිමය පසුබැසීමක් සිදුවන බවත්, ප්‍රධාන පනත දුර්වල කරන බවත්, සිවිල් සමාජ අවකාශය සීමා වන බවත්, මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් TISL ආයතනය අනතුරු අඟවයි. මෙම සංශෝධන මගින් දූෂණ විරෝධී උත්සාහයන් ශක්තිමත් කරනවා වෙනුවට, වත්කම් ප්‍රකාශන පද්ධතිය දුර්වල කිරීම, අර්ථවත් තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කිරීම සහ අධිකරණ අධීක්ෂණයෙන් බැහැරව නඩු නොපැරවීමේ අභිමතානුසාරී බලය අධිකාරියට ලබා දීම මගින් විනිවිදභාවය, වගවීම සහ මහජන විශ්වාසය අනතුරේ හෙළයි.

යෝජිත පනත් කෙටුම්පතට එරෙහිව TISL ආයතනය විසින් ගොනු කරන ලද පෙත්සමෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අභියෝග එල්ල වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පෙන්වා දෙයි:

4 වන වගන්තිය – සහායකයන්ට (නඩුවට සම්බන්ධ අනෙකුත් තැනැත්තන්ට) නඩු පැවරීම සම්බන්ධයෙන් වූ අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීම

ප්‍රධාන පනතේ 70 වැනි වගන්තිය සඳහා යෝජිත සංශෝධනය මගින්, සම්පූර්ණ තොරතුරු හෙළිදරව් කිරීමට යටත්ව, සහායකයන්ට එරෙහිව නඩු පැවරීමෙන් වැළකී සිටිය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයාගේ පූර්ව අවසරයකින් තොරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත පැවරීමට කොමිෂන් සභාවට බලය ලබා දෙයි. මෙමගින් අධිකරණ අධීක්ෂණයක් සහ වගවීමක් නොමැතිව අධ්‍යක්ෂ ජෙනරාල් ධුරය වෙත අභිමතානුසාරී තීරණ ගැනීමේ බලය ඒකරාශී වන අතර, එම ධුරය විය හැකි අවභාවිතයන්ට, බාහිර තර්ජනවලට, දේශපාලන බලපෑම්වලට සහ දූෂණ අවදානම්වලට නිරාවරණය වේ. අධිකරණ අධීක්ෂණය ඉවත් කිරීම මගින් දූෂණ නඩු පැවරීමේ අඛණ්ඩතාව සහ කොමිෂන් සභාවේ නීති බලාත්මක කිරීමේ බලතලවල විශ්වාසනීයත්වය අනතුරේ වැටේ.

6 සහ 18 වන වගන්ති – රාජ්‍ය කොටස් හිමිකාරීත්වයේ සීමාව 50% දක්වා ඉහළ නැංවීම

මෙම පනත් කෙටුම්පත මඟින් ප්‍රධාන පනතේ 80(1)(x) වගන්තිය සංශෝධනය කරමින්, නිලධාරීන් විසින් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය වීමට අදාළ රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථා කොටස් හිමිකාරීත්වයේ සීමාව 25% සිට 50% දක්වා ඉහළ නැංවීමට යෝජනා කරයි. මෙම සංශෝධනය හේතුවෙන් රාජ්‍යය සතු කොටස් ප්‍රමාණය 50%කට අඩු රාජ්‍ය සම්බන්ධිත සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ වගකීමෙන් නිදහස් විය හැකිය. මෙවැනි ආයතන පොදු කාර්යයන් ඉටු කරන අතර සැලකිය යුතු රාජ්‍ය වත්කම් සහ කොන්ත්‍රාත්තු කළමනාකරණය කරයි. එබැවින්, 50%ක ස්ථාවර හිමිකාරීත්ව සීමාවක් පැනවීම මඟින් අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම් හෝ ඡන්ද හිමිකම් හරහා සිදුවන සැබෑ පාලනයේ තත්ත්වය නොසලකා හැරේ. තවද, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම (RTI) පිළිබඳ පනතේ 25%ක හිමිකාරීත්ව සීමාවක් භාවිතා කර ඇති බැවින්, මෙම සංශෝධනය එම පනතේ ප්‍රතිපාදන සමඟ සෘජුවම පරස්පර වේ.

7 වන වගන්තිය – එකට ජීවත්වන සහකරුවන්/සහකාරියන් (Cohabitants) මගහැරීම මගින් නීතිය දුර්වල කිරීම

ප්‍රකාශනයට පෙර අවම වශයෙන් මාස හයක්වත් එකම ගෘහස්ථයේ එකට ජීවත් වන සහකරුවන්ගේ/සහකාරියන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට ඇති බැඳීම ඉවත් කරමින්, ප්‍රධාන පනතේ 81(ඉ) වගන්තිය අහෝසි කිරීමට යෝජිත සංශෝධනය මගින් උත්සාහ කරයි. කිසිදු සාධාරණීකරණයකින් තොරව මෙම විධිවිධානය අහෝසි කිරීම මගින්, දූෂිත නිලධාරීන්ට තම නීති විරෝධී වත්කම් තම කලත්‍රයා (බිරිඳ/සැමියා) හෝ යැපෙන්නන් නොවන, සහවාසයෙන් ජීවත්වන නිවැසියන්ගේ නම්වලින් ලියාපදිංචි කරමින් සඟවා තැබීමට ඉඩ සැලසේ. මෙයින් ඵලදායී ලෙස වත්කම් පරීක්ෂා කිරීම සහ තහවුරු කරගැනීම අඩාල විය හැක.

11 වන වගන්තිය – පුළුල් ලෙස තොරතුරු සංස්කරණය (Redact) කිරීමේ බලතල සහ භාෂණයේ නිදහස භාවිතා කිරීම අපරාධ වරදක් කිරීම

කනගාටුදායක ලෙස, පනත් කෙටුම්පත මගින් ප්‍රධාන පනතේ 88 වැනි වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කරයි:
පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට හානි වන බව සලකන “ඕනෑම තොරතුරක්” සංස්කරණය (මකා දැමීම හෝ වසා දැමීම) කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කිසිදු පදනමකින් තොර, පුළුල් සහ අත්තනෝමතික අභිමතානුසාරී බලයක් ලබා දෙයි. මෙම සීමාරහිත බලය නිසා, දූෂණ හෝ හෙළිදරව් නොකළ වත්කම් හඳුනා ගැනීමට අත්‍යවශ්‍ය වන ප්‍රධාන මූල්‍ය තොරතුරු අධික ලෙස සංස්කරණය වීමේ අවදානමක් පවතී.

සංස්කරණය කරන ලද වත්කම් ප්‍රකාශන පිටපතක්, මහජනතාව විසින් පනතේ 86 වැනි වගන්තිය යටතේ හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිත කිරීම අපරාධ වරදක් බවට පත් කරන අලුත් උප වගන්තියක් ඇතුළත් කර ඇත. මහජන තොරතුරු වෙනත් ඕනෑම ආකාරයකින් භාවිත කිරීම අපරාධයක් බවට පත් කරන අතර, එයට මහේස්ත්‍රාත් අධිකරණ නඩු විභාගයකින් පසුව රුපියල් 100,000 දක්වා දඩයක්, වසරක් දක්වා සිරදඬුවමක් හෝ යන දෙකම නියම කළ හැක.
පොදු තොරතුරු භාවිතයෙන් මහජනතාවට කළ හැකි දේ සීමා කිරීම මගින් සිවිල් සමාජ අවකාශයට, මාධ්‍යවේදයට සහ නිදහස් මාධ්‍යයට දැඩි බියක් සහ බාධාවක් ඇති කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති භාෂණයේ නිදහසට තොරතුරු ලැබීමේ සහ බෙදාහැරීමේ අයිතිය ද ඇතුළත් වේ.

එසේම ප්‍රධාන පනතේ 149 වැනි වගන්තිය අහෝසි කර වෙනත් වගන්තියක් ආදේශ කිරීමට ද පනත් කෙටුම්පත යෝජනා කරන අතර, එමගින් ඇප ලබා දීම සුවිශේෂී තත්ත්වයක් ලෙසත්, රක්ෂිත බන්ධනාගාරගත කිරීම සාමාන්‍ය නීතිය ලෙසත් පත් කරයි. මෙම විධිවිධානය අපැහැදිලි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව අතිශය පුළුල්, නියමිත මගපෙන්වීම් නොමැති එකක් වන අතර එය සමානුපාතිකත්වයේ මූලධර්ම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව පෙත්සමෙහි දැක්වේ.
මෙම සංශෝධන මගින් විශාල ප්‍රතිපත්තිමය පසුබැසීමක් නිරූපණය වන අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් උල්ලංඝනය වන බවත්, අභියෝගයට ලක් කර ඇති වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 4, 12, 13, 14(1)(අ), 14අ, 126, 140 සහ 156අ(1)(ඇ) යන ව්‍යවස්ථාවන්ට පටහැණි බවත් TISL පෙත්සම මගින් තහවුරු කරයි. එමගින් ජනතා පරමාධිපත්‍යය සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අතර, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත සීමා වන අතරම ජනතාවගේ අධිකරණ බලයට ද බලපෑම් එල්ල වේ.

ඒ අනුව, පනත් කෙටුම්පතේ අදාළ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන විධිවිධානවලට පටහැණි බවට තීන්දු කරන ලෙස TISL පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින අතර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත නොකරන්නේ නම් මෙම විධිවිධාන නීතියක් බවට පත් විය නොහැකි බවට තීන්දු කරන ලෙස ද අධිකරණයෙන් ඉල්ලා සිටී.

Social Sharing
නවතම පුවත්