සැප්තැම්බර් 30ට පෙර ලාභදායී හිමිකාරිත්ව තොරතුරු ඉදිරිපත් කරන්නැයි සමාගම්වලට දැනුම්දීමක්!

තම ලාභදායී හිමිකාරිත්ව (Beneficial Ownership) තොරතුරු මෙතෙක් ඉදිරිපත් කර නොමැති සියලුම සමාගම් එම තොරතුරු 2026 සැප්තැම්බර් 30 වන දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2025 අංක 12 දරන සමාගම් (සංශෝධන) පනතේ 130H(1) වගන්තිය යටතේ මෙම අවශ්‍යතාව ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව, 2007 අංක 7 දරන සමාගම් පනත හෝ සමාගම් සම්බන්ධයෙන් මීට පෙර බලපැවැත්වූ යම් ලිඛිත නීතියක් යටතේ සංස්ථාපිත හෝ ලියාපදිංචි කර ඇති සහ අදාළ සංශෝධනය බලාත්මක වූ අවස්ථාවේ ලාභදායී හිමිකරුවන් සිටින සෑම සමාගමක්ම, නියමිත ආකෘතිය හා ක්‍රමවේදයට අනුව එම හිමිකරුවන්ගේ තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

නියමිත කාලසීමාව තුළ මෙම අවශ්‍යතාවට අනුකූල නොවන සමාගම් පරිපාලනමය දඩවලට යටත් විය හැකි බවද සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

තවද, අදාළ විධිවිධානවලට අනුකූලව කටයුතු නොකරන සමාගමක් වරදක් සිදු කළ බවට සැලකිය හැකි අතර, වරදකරු වුවහොත් රුපියල් මිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර 10ක් නොඉක්මවන සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් විය හැකි බවද දැනුම් දී තිබේ.

Social Sharing
නවතම පුවත්