
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සියලුදෙනාම හෝ ඉතා විශාල විනිසුරු සංඛ්‍යාවක් එකම කාරණයක් විමසීමට අසුන්ගැනීම ලංකාවේ අධිකරණ ඉතිහාසයට අලුත් දෙයක් නෙවෙයි. අධිකරණ ඉතිහාසය ටිකක් ආපස්සට පෙරළලා බැලුවොත්, රටටම බලපාන බරපතළ ව්‍යවස්ථාමය ප්‍රශ්න මතුවුණු අවස්ථාවලදී සාමාන්‍ය විනිසුරු මණ්ඩලයකින් ඔබ්බට ගිහින් විශාල විනිසුරු මණ්ඩල පත්කළ අවස්ථා කිහිපයක්ම අපට හමුවෙනවා.
සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ අවම වශයෙන් විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් විනිසුරු මණ්ඩලයක් විසින්. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(3) ව්‍යවස්ථාව අනුව අගවිනිසුරුවරයාට තමන්ගේම මූලිකත්වයෙන් හෝ අදාළ කාරණය විමසන විනිසුරුවරුන් දෙදෙනෙකුගේ හෝ ඊට වැඩි පිරිසකගේ ඉල්ලීම මත, පස්දෙනෙකු හෝ ඊට වැඩි විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත්කිරීමට පුළුවන්.
නඩුවේ පාර්ශ්වකරුවකුගේ ඉල්ලීම මත එවැනි මණ්ඩලයක් පත්කරනවා නම්, එහිදී මතුවන ප්රශ්නය සාමාන්‍ය සහ පොදු වැදගත්කමකින් යුතු එකක් බවට අගවිනිසුරුවරයාගේ මතය විය යුතුයි. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී “පූර්ණ විනිසුරු මණ්ඩලයක්” හෙවත් Full Bench එකක් කියලා කථා කළත්, 132(3) ව්‍යවස්ථාව තුළ ඒ නමින් වෙනම අර්ථ දැක්වීමක් නෑ. එහි තිබෙන්නේ පස්දෙනෙකු හෝ ඊට වැඩි විනිසුරු සංඛ්‍යාවක් ගැනයි.
ඒ නිසා රටට වැදගත් සෑම නඩුවක්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන් විසින් විමසිය යුතු බවට අනිවාර්ය නියමයක් නෑ. විශාල විනිසුරු මණ්ඩලයක් පත්කිරීම අගවිනිසුරුවරයා වෙත පැවරී තිබෙන ව්‍යවස්ථානුකූල අභිමතයක්. හැබැයි අධිකරණයේම පැවැත්ම, අධිකරණයේ ස්වාධීනත්වය සහ රටේ ව්‍යවස්ථාමය ව්‍යුහය වැනි බරපතළ ප්‍රශ්න මතුවුණු අවස්ථාවලදී මේ අභිමතය භාවිතා කර තිබෙන ආකාරය ඉතිහාසය තුළ පැහැදිලිව දකින්න පුළුවන්.
1983 වසරේ විභාග වූ Visuvalingam and Others v. Liyanage and Others නඩුව ඒ සඳහා හොඳ උදාහරණයක්.
හයවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් හත්වන උපලේඛනයේ දිවුරුම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ ධුර පැවැත්ම සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් ඇතිවුණා. අදාළ දිවුරුම ලබා නොදීම හේතුවෙන් විනිසුරුවරුන් සිය ධුර දැරීම අවසන් කර තිබුණාද, නඩු කටයුතු නැවත මුල සිට ආරම්භ කළ යුතුද, ජනාධිපතිවරයා විසින් කරන ලද පත්වීම් සහ විධායක ක්‍රියා අධිකරණය විසින් විමර්ශනය කළ හැකිද කියන ප්‍රශ්න එහිදී මතුවුණා.
ඒ කියන්නේ එදා ප්රශ්නය තිබුණේ සාමාන්‍ය නඩුවක පාර්ශව දෙකක් අතර විතරක් නෙවෙයි. අධිකරණයේම නීතිමය පැවැත්ම, විනිසුරුවරුන්ගේ ධුර සහ විධායක බලය අධිකරණමය පරීක්ෂාවට යටත් වන සීමාව ගැනයි. එම නඩුව විමසීමට එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් මහතා ඇතුළු විනිසුරුවරුන් නවදෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයක් අසුන් ගත්තා.
අවසානයේ බහුතර විනිසුරුවරුන් තීරණය කළේ අදාළ විනිසුරුවරුන්ගේ ධුර අහිමි වී නොමැති බවයි. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි පෞද්ගලික මුක්තිය නිසා ජනාධිපතිවරයාගේ නිල ක්‍රියාවල නීත්‍යනුකූලභාවය අධිකරණය විසින් පරීක්ෂා කිරීම වැළකෙන්නේ නැති බවත් එහිදී තහවුරු වුණා. ඒ තීන්දුව වැදගත් වුණේ අධිකරණයේ පැවැත්ම සම්බන්ධයෙන් විතරක් නෙවෙයි. විධායක බලය නීතියට සහ අධිකරණමය පරීක්ෂාවට යටත් වන ආකාරය සම්බන්ධයෙනුත් එය රටටම වැදගත් තීන්දුවක් වුණා.
ඊට අවුරුදු හතරකට පස්සේ, 1987 වසරේ දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණියා. රටේ ඒකීයභාවය, ජනතාවගේ පරමාධිපත්‍යය, ව්‍යවස්ථාදායක බලය සහ බලය බෙදාහැරීම සම්බන්ධයෙන් මූලික ප්‍රශ්න ගණනාවක් එහිදී මතුවුණා.
එම ප්‍රශ්න සාමාන්‍ය සහ පොදු වැදගත්කමකින් යුතු බව සලකා එවකට අගවිනිසුරු ශර්වානන්ද මහතා 132(3) ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් පූර්ණ විනිසුරු මණ්ඩලයක් පත්කළා. ඒ අනුව විනිසුරුවරුන් නවදෙනෙකු දහතුන්වන සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය පිළිබඳ ප්‍රශ්න විමසීමට එකට අසුන් ගත්තා.
විනිසුරුවරුන් අතර වෙනස් මත තිබුණා. ඇතැම් විනිසුරුවරුන් අදාළ විධිවිධාන සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව තීරණය කරද්දී, තවත් විනිසුරුවරුන්ගේ මතය වූයේ ඇතැම් වගන්ති හෝ සම්පූර්ණ කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කළ යුතු බවයි. කොහොම වුණත් එදා ලබාදුන් තීරණයේ බලපෑම අදටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යුහය තුළත්, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් අතර බලය බෙදී යන ආකාරය තුළත් දකින්න පුළුවන්.
2013 වසරේ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීම සහ මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයට පත්කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් අයදුම්පත් පහක් සහ අභියාචන අයදුම්පතක් විනිසුරුවරුන් නවදෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයක් ඉදිරියට පැමිණියා.
එම මණ්ඩලය සඳහන් කළේ ඒවා විනිසුරුවරුන් දසදෙනෙකුගෙන් සැදුම්ලත් පූර්ණ විනිසුරු මණ්ඩලයක් විසින් විමසිය යුතු බවයි. ඒ අනුව කාරණය යළි අගවිනිසුරුවරයා වෙත යොමු කෙරුණා. දසදෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයක් අවසානයේ එම අයදුම්පත් විභාග කළ බවක් එයින් අදහස් වෙන්නේ නෑ. හැබැයි රටේ අගවිනිසුරුවරයා ඉවත් කිරීම, නව අගවිනිසුරුවරයකු පත්කිරීම සහ ඒ සමඟ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් මතුවුණු ප්‍රශ්න නවදෙනෙකුගෙන් සැදුම්ලත් එම විනිසුරු මණ්ඩලය සැලකූ බර එයින් පැහැදිලියි.
2014 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දෙවන ධුර කාලයේ වසර හතරක් සම්පූර්ණ කිරීමෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට සහ තුන්වන වරටත් තරග කිරීමට නීතිමය බාධාවක් තිබේදැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසුවා. එය 132(3) ව්‍යවස්ථාව යටතේ වූ නඩු විභාගයක් නෙවෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූ අවස්ථාවක්.
එවැනි මත විමසීමක් සඳහා අවම වශයෙන් විනිසුරුවරුන් පස්දෙනෙකු අවශ්‍ය වුණත්, එම අවස්ථාවේ අසුන්ගත හැකිව සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දසදෙනාම එම ප්රශ්නය සලකා බැලුවා. ජනාධිපතිවරයකුගේ ධුර කාලය සහ නැවත තරග කිරීමේ හැකියාව කියන්නේ රටේ දේශපාලන ගමන්මගට සෘජුවම බලපාන ප්‍රශ්නයක්. ඒ ප්රශ්නය සලකා බැලීමට යොදාගත් විනිසුරු සංඛ්‍යාවත් එහි වැදගත්කමට ගැළපුණා.
2018 වසරේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ඇතිවුණු ව්‍යවස්ථා අර්බුදයේදීත් සාමාන්‍ය තිදෙනෙකුගේ විනිසුරු මණ්ඩලයකට වඩා විශාල මණ්ඩලයක් පත්කෙරුණා. එවකට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි විනිසුරුවරුන් නවදෙනාම යොදාගන්නා ලෙස නීතිපතිවරයා 132(3) ව්‍යවස්ථාව යටතේ ඉල්ලා සිටියත්, අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම පෙත්සම් විමසීම සඳහා විනිසුරුවරුන් හත්දෙනෙකුගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත්කළා.
එම විනිසුරුවරුන් හත්දෙනා ඒකමතිකව තීරණය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර තිබූ කාලය සම්පූර්ණ වීමට පෙර, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ඒ තීන්දුවෙන් එවකට රට තුළ ඇතිවී තිබුණු බරපතළ ව්‍යවස්ථා අර්බුදයකට නීතිමය පිළිතුරක් ලැබුණා.
වැඩි විනිසුරුවරුන් පිරිසක් නඩුවක් විමසීමට අසුන්ගත්තා කියලා අදාළ තීන්දුව කොහොම ලැබෙයිද කියන එක කලින් කියන්න බෑ. ඒ වගේම විනිසුරු මණ්ඩලයක සිටින පුද්ගලයන් ගණන අනුව තීන්දුවක නීත්‍යනුකූලභාවය හෝ වලංගුභාවය මැනීමත් නිවැරදි නෑ.
හැබැයි විනිසුරුවරුන්ගේම ධුර පැවැත්ම, අධිකරණයේ ස්වාධීනත්වය, රටේ ඒකීයභාවය, බලය බෙදාහැරීම, අගවිනිසුරුවරයකු ඉවත් කිරීම, ජනාධිපතිවරයකුගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුවේ පැවැත්ම වගේ රටටම බලපාන ප්‍රශ්න මතුවුණු අවස්ථාවලදී සාමාන්‍ය විනිසුරු මණ්ඩලයකින් ඔබ්බට ගිය විශාල මණ්ඩල යොදාගැනීම අපේ අධිකරණ ඉතිහාසයේ එක වතාවක් විතරක් දැකපු දෙයක් නෙවෙයි.
ඉතින් මීට කලින් මුළු ශ්‍රේෂ්ඨාධිකරණයම එකට නඩු අහනවා දැකලා නැත්ද…?
දැකලා තියෙනවා.
අධිකරණයේම පැවැත්ම ප්‍රශ්නයක් වුණු වෙලාවෙත්, රටේ රාජ්‍ය ව්‍යුහය ගැන තීරණ ගන්න වෙලාවෙත්, අධිකරණයේ ස්වාධීනත්වය ගැන බරපතළ ප්‍රශ්න මතුවුණු වෙලාවෙත්, පාර්ලිමේන්තුවේ පැවැත්ම ගැන ව්‍යවස්ථා අර්බුදයක් ඇතිවුණු වෙලාවෙත් එහෙම වෙලා තියෙනවා.
ඒ නිසා නඩු තීන්දුවක් කියවද්දී අවසානයේ ලබාදුන් නියෝගය විතරක් කියවලා මදි. ඒ නඩුව අහන්න අසුන්ගත්තේ විනිසුරුවරුන් කීදෙනෙක්ද කියන එකත් කියවන්න වෙනවා.
මොකද සමහර වෙලාවට රට ඉදිරියේ තිබුණු ප්රශ්නය මොන තරම් ගැඹුරුද කියලා මුලින්ම පෙන්වන්නේ ඒ සංඛ්‍යාවෙන්.
සටහන නීතීඥ තුසිත ජාගොඩ
