නන්දා නම් කැපුම… – මහේෂ් හපුගොඩ

අසූවට පය තියෙන කොටත් ලංකාවේ සමාජය තුවාල සහිතව හිටියේ. නන්දා කියන්නේ ඒ තුවාල සහිත ලාංකික සමාජයේ කැපුමක්. ඒ කැපුම (cut) අස්සෙන් අපි දැක්ක ඒ වෙලාවේ ලාංකික පරම්පරාවක වේදනාව. යහපත් ලෝකයක් වෙනුවෙන් තිබ්බ අනුරාගය.

නන්දා එක වෙලාවක ලංකාවේ ආත්මය අවදිකරන්න බය නැතුවම තමන්ගේ හඬ දුන්න. එයාගේ ‘හඬ’ ඒ වෙලාවේ හුදෙක් සංගීතමය හඬක් විතරක් නෙවෙයි. ඒක අවියක් වගේ දෙයක් උනා. උපකරණයක් වගේ දෙයක් උනා. යම් නිද්‍රාශීලි බවකින් ඇහැරවන්න ඒ හඬ එයා පාවිච්චි කළා.

වචනවලින් කරන්න පුළුවන් සන්නිවේදනය විතරක් උනාට හඬට පුළුවන් වචනවලින් ඔබ්බට ගිහිල්ල මිනිස් අවිඥාණයට රිංගන්න. ඇත්තටම උනේ නන්දා පවනේ හඬ විතරක් නෙවෙයි ලංකාවේ ඒ වෙලාවේ දේශපාලන විරෝධයේ හඬ බවට පත් උනා. වචනවලින් ඔබ්බට ගිහිල්ල මිනිස් ආත්මය අල්ලගත්ත (captivated).
ගැහැණු හඬක් නිසා ඒකට වෙනම ශක්තියක් තිබ්බ. මහ පොළොවෙන් එන මවකගේ හඬ, ගැහැණියකගේ ඉල්ලා සිටීම, ස්ත්‍රී පෙළඹවීම, අයුක්තියට එරෙහිව සටන්කිරීම යන සියල්ලම ඒ හඬේ තිබ්බ.

ඒ කියන්නේ අර ආශාවට ඇද වැටෙන්න කියල මුරගාන වෙළඳ දැන්වීමේ තියෙන ගැහැණු හඬ හෝ පොප් සංගීතයේ තැවරිලා තියෙන වසඟයේ හඬ වෙනුවට නන්දා ගෙනාවේ අමු යථාවේ හඬක්. ලාංකික සමාජය වෙනත් කොහේ හෝ අලුත් මාවතක යා යුතුයි අලුත් සාධාරණත්වයේ මඟක් සොයාගත යුතුයි කියන නිරෝගී හඬක්. ඉල්ලා සිටීමක්. අවදි කිරීමක්.

හඬක් කියන්නේ වස්තුවක් (voice as object). නන්දා ඒක විනෝදය වෙනුවෙන් කැප නොකර වෙනත් අර්ථයක් ලංකාවේ ඒ වෙලාවේ පැළ කරන්න උපයෝගී කරගත්ත.

මම හිතන්නේ නන්දා අපිට මතක තියෙන්නේ ඒ විදියට…

පෙරදා මහ රෑ අඳුර තරණය කරනු පිණිස ඔබ කැපකළ ඒ හඬ වෙනුවෙන් උපහාරය…

සුබ ගමන් සොයුරිය..!

Social Sharing
නවතම පුවත්