
ජී.එස්.පී. ප්ලස් (GSP+) වෙළෙඳ සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර, එය ලබා ගැනීම සඳහා රජයක් ලෙස අවශ්‍ය සියලු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඇමරිකාව විසින් පනවා තිබූ තීරුබද්ද 44% සිට 20% දක්වා අඩු කර ගැනීමට රජයට හැකි වූ බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායමක් පත්කර ඇමරිකානු බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, ලිපි ලේඛන හුවමාරු කර ගැනීම මෙන්ම අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා කණ්ඩායම් ඇමරිකාවට ගොස් සාකච්ඡා පැවැත්වූ බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ රෙදිපිළි අපනයනයෙන් සියයට 25කට වැඩි ප්‍රමාණයක් ඇමරිකානු වෙළෙඳපොළ වෙත සිදුකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙරට ගාමන්ට් කර්මාන්තයේ 350,000කට වැඩි පිරිසක් සේවය කරන බැවින් බදු පැනවීම හේතුවෙන් ඔවුන්ගේ රැකියා අහිමි වීමේ අවදානමක් පැවති බවද සඳහන් කළේය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, දැනට පවතින තීරුබදු අභියෝග ජය ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ උපදෙස් ලබාගෙන කටයුතු කරන බවයි.
ඇමරිකාව සමඟ පවතින ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉතිරිව ඇති තවත් සියයට 5ක බදු අභියෝගයද ජය ගැනීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව වාර්ෂිකව ඇමරිකානු වෙළෙඳපොළ වෙත ඩොලර් බිලියන 2.8ක පමණ අපනයන ආදායමක් උපයන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර, ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ වෙළෙඳ අමාත්‍යාංශය එක්ව විශේෂ කමිටුවක් පත්කර ඇති බවත්, අදාළ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අතර සහනය ලබා ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් මේ වන විට සිදුකරමින් පවතින බවත් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.
