මීගමු බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 25ක් හෙට අධිකරණයට!

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොදු දේපළවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ නම් කර ඇති කාන්තා රැඳවියන් 25 දෙනා සැප්තැම්බර් 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

සැකකාරියන් 25 දෙනා එදින හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා ද ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම නියෝගය ලබා දී ඇත්තේ සැප්තැම්බර් 15 වැනිදා සැකකරුවන් අංක 61 සිට 81 දක්වා වූ පිරිස හඳුනාගැනීමේ පෙරෙට්ටුවට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ සැකකාරියන් සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි. නඩුව අවසන් වන තෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති අතර, ඉන් 81 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 25 දෙනෙකු කාන්තාවන් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් 81 දෙනෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා මේ වන විට ඉදිරිපත් කර ඇති අතර, සැප්තැම්බර් 15 වැනිදා සැකකරු අංක 31 සිට 60 දක්වා වූ සැකකරුවන් 30 දෙනෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කර තිබේ. එහිදී බන්ධනාගාර නිලධාරීන් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වී සැකකරුවන් හඳුනාගෙන ඇත.

අධිකරණ නියෝග අනුව සැකකරුවන් 106 දෙනාම සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් නොකරන සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි. සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත, ගිනිඅවි ආඥා පනත සහ මිනීමැරීම සම්බන්ධ නීති යටතේ නඩු පවරා තිබේ.

මෙම නඩුව සැප්තැම්බර් 17 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Social Sharing
නවතම පුවත්