පොලිස් උසස්වීම් අභියෝග කළ පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභා කෙරේ!

මෑත කාලයේ පොලිස් සේවයේ විවිධ ශ්‍රේණි සඳහා සිදුකළ උසස්වීම් අභියෝගයට ලක්කරමින් උසස්වීම් නොලද පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 1,050කට ආසන්න පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 40කට ආසන්න සංඛ්‍යාවක් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු සම්පත් විජේරත්න යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් මෙම තීන්දුව ඊයේ (08) ප්‍රකාශයට පත් කර ඇත.

2019, 2020, 2021 සහ 2023 යන වසරවලදී එවකට පොලිස්පතිවරුන් ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර, සී.ඩී. වික්‍රමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ පාලන කාලයන්හි සිදුකරන ලද පොලිස් උසස්වීම් මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක්කර තිබුණි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වාත්, පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුර දක්වාත්, උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වාත් සිදුකරන ලද උසස්වීම් මෙලෙස අභියෝගයට ලක්කර තිබේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සඳහන් කර ඇත්තේ, අදාළ උසස්වීම් පිරිනැමීමේදී අක්‍රමිකතා සිදුවූ බවට අධිකරණය සෑහීමකට පත් කළ හැකි ප්‍රමාණවත් තොරතුරු සහ සාක්ෂි පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව තහවුරු කිරීමට ද පෙත්සම්කරුවන් අසමත් වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවලින් සඳහන් කර තිබේ.

ඒ අනුව, අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Social Sharing
නවතම පුවත්