
ජාත්‍යන්තර මානුෂවාදී නීතිය (International Humanitarian Law – IHL) යනු සන්නද්ධ ගැටුම් හෝ යුදමය අවස්ථාවලදී පැනනගින මානුෂීය ගැටලු පාලනය කිරීම සඳහා සකස් කර ඇති ජාත්‍යන්තර නීති රීති පද්ධතියකි. මෙය “යුද නීතිය” (Law of War) නැතහොත් “සන්නද්ධ ගැටුම් පිළිබඳ නීතිය” (Law of Armed Conflict) ලෙසද හඳුන්වනු ලබයි.
සටනට සෘජුව සම්බන්ධ නොවන අය ආරක්ෂා කිරීම, යුද ක්‍රම සහ ආයුධ සීමා කිරීම යනාදිය හරහා යුද්ධයක් පැවැත්වෙන අතරතුරදී පවා මනුෂ්‍යත්වය සුරැකීම සහ යුද්ධයේ විනාශකාරී බව සීමා කිරීම මෙම නීතියේ ප්‍රධාන අරමුණයි.
එහෙත්, ලෝක ඉතිහාසය දෙස බැලීමේදී මෙම මානුෂවාදී නීතීන් මුළුමනින්ම පසෙකලා අතිශය ම්ලේච්ඡ ලෙස මිනිස් ජීවිත විනාශ කළ අවස්ථා දක්නට ලැබේ. අප්‍රිකානු මහාද්වීපය තුළ මෙවැනි නීති උල්ලංඝනය වීම් බහුලව වාර්තා වී ඇති අතර, ඒ අතරින් 1994 වසරේ රුවන්ඩාවේ සිදු වූ ජනසංහාරය මානුෂවාදී නීතියේ මූලධර්ම බිඳවැටුණු දරුණුතම සහ වඩාත්ම ඛේදනීය ඓතිහාසික උදාහරණය ලෙස හඳුන්වා දිය හැකිය.
දින 100කට ආසන්න කෙටි කාලයක් තුළ 800,000කට අධික මිනිස් ජීවිත ප්‍රමාණයක් බිලිගත් මෙම ඝාතන රැල්ල, ජාත්‍යන්තර ප්‍රජාව අකර්මණ්‍ය වූ සහ යුධ නීති මුළුමනින්ම නොසලකා හැරි කළු පැල්ලමකි.
රුවන්ඩාව යනු ප්‍රධාන වශයෙන් හුටු (Hutu) සහ ටුට්සි (Tutsi) යන ජනවාර්ගික කණ්ඩායම් දෙකෙන් සමන්විත වූ නැගෙනහිර අප්‍රිකානු රටකි. බෙල්ජියම් යටත්විජිත පාලන සමයේදී පාලකයන් විසින් සුළුතරයක් වූ ටුට්සි වැසියන්ට සමාජයේ ඉහළ වරප්‍රසාද ලබා දෙමින් බහුතරය වූ හුටු වැසියන් පීඩනයට පත් කරන ලදී. මෙමගින් දෙපාර්ශවය අතර වෛරය සහ දේශපාලනික බෙදීම නිර්මාණය විය.
1962 දී රුවන්ඩාව නිදහස ලැබීමෙන් පසු බලය බහුතරය වූ හුටු වැසියන් අතට පත් වූ අතර, ටුට්සි වැසියන් විශාල වශයෙන් පීඩාවටත් අවතැන්වීමටත් ලක් විය. 1990 දශකයේ මුල් භාගයේදී ඇති වූ සිවිල් යුධ වාතාවරණය සමනය කිරීම සඳහා 1993 දී ‘අරුෂා සාම ගිවිසුම’ අත්සන් කෙරුණද, දෙපාර්ශවය අතර පැවති සැකය සහ වෛරය අඩු වූයේ නැත.
මෙම තත්ත්වය උච්චස්ථානයකට පත් කරමින් 1994 අප්‍රේල් 6 වනදා රුවන්ඩාවේ එවකට සිටි හුටු ජාතික ජනාධිපති ජුවනල් හබියාරිමානා (Juvénal Habyarimana) ගමන් කළ ගුවන් යානය රොකට් ප්‍රහාරයකින් බිම හෙළා විනාශ කරන ලදී. මෙම ප්‍රහාරයේ වගකීම ටුට්සි කැරලිකරුවන් පිට පැටවූ හුටු අන්තවාදීන්, පසුදිනම එනම් අප්‍රේල් 7 වනදා සිට සංවිධානාත්මකව ටුට්සි වැසියන් සමූලඝාතනය කිරීමේ ම්ලේච්ඡ මෙහෙයුම ආරම්භ කළහ.
1949 ජිනීවා සම්මුතීන් (Geneva Conventions) සහ එහි අතිරේක ප්‍රොටෝකෝලයන්ට අනුව, අභ්‍යන්තර සන්නද්ධ ගැටුමකදී වුවද සිවිල් වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය සුරැකිය යුතු අතර වර්ගයා වඳ කිරීමේ (Genocide) ක්‍රියාවන් සපුරා තහනම් වේ. නමුත් රුවන්ඩාවේදී මෙම සෑම ජාත්‍යන්තර රීතියක්ම බිඳ දමන ලදී.
සිවිල් ජනතාව ඉලක්ක කිරීම සහ සමූලඝාතනය
ජාත්‍යන්තර මානුෂවාදී නීතියේ මූලිකම රීතිය වන්නේ සටන්කාමීන් (Combatants) සහ සිවිල් වැසියන් (Civilians) වෙන්කර හඳුනාගෙන, සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොකිරීමයි. එහෙත් රුවන්ඩාවේදී ‘ඉන්ටරහම්වේ’ (Interahamwe) නමැති හුටු මිලීෂියා කණ්ඩායම් සහ රජයේ හමුදා විසින් කිසිදු වෙනසකින් තොරව පොදු ටුට්සි සිවිල් වැසියන්, කාන්තාවන්, බිළිඳුන් සහ මහලු අය දරුණු ලෙස කපා කොටා ඝාතනය කරන ලදී.
ලිංගික ප්රචණ්ඩත්වය යුධ අවියක් ලෙස භාවිත කිරීම
ජිනීවා සම්මුතීන් මගින් යුධ වාතාවරණයකදී කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන සපුරා තහනම් කර ඇත. එහෙත් රුවන්ඩා ජනසංහාරයේදී ටුට්සි කාන්තාවන් 250,000ත් 500,000ත් අතර ප්‍රමාණයක් ක්‍රමවත් සහ සැලසුම්සහගත ලෙස දූෂණයට ලක් කරන ලදී. මෙය මානුෂවාදී නීතියට අනුව මානව වර්ගයාට එරෙහි අපරාධයක් (Crimes against humanity) ලෙස සැලකේ.
ආරක්ෂිත කලාප සහ ආගමික ස්ථාන මත ප්‍රහාර එල්ල කිරීම
යුද්ධයකදී රෝහල්, දේවස්ථාන සහ පාසල් වැනි පොදු ස්ථාන ආරක්ෂිත කලාප ලෙස සැලකේ. බියට පත් වූ දහස් සංඛ්‍යාත ටුට්සි වැසියන් රැකවරණය පතා කතෝලික පල්ලි සහ ක්‍රීඩාංගණ තුළට රොක් වූහ. නමුත් හුටු මිලීෂියාවන් එම ස්ථාන වටලා, බෝම්බ සහ අත්බෝම්බ ගසා ඇතුළත සිටි පිරිස් සමූහ වශයෙන් ඝාතනය කළහ.
මාධ්‍ය සහ වෛරී ප්‍රකාශ හරහා අපරාධ උනන්දු කිරීම
IHL රීතීන්ට අනුව සිවිල් වැසියන් ඝාතනය කිරීමට පෙළඹවීම තහනම්ය. එහෙත් රුවන්ඩාවේ ‘RTLM’ (Radio Télévision Libre des Mille Collines) නමැති ගුවන් විදුලි නාලිකාව හරහා ටුට්සි වැසියන් ‘කැරපොත්තන්’ ලෙස හඳුන්වමින්, ඔවුන්ව මුලිනුපුටා දමන ලෙස සාමාන්‍ය හුටු ජනතාවට නිරන්තරයෙන් නියෝග සහ උපදෙස් ලබා දෙන ලදී.
රුවන්ඩා ඛේදවාචකයේ වඩාත්ම කනගාටුදායක පැත්ත වන්නේ මානුෂවාදී නීතිය සුරැකීමට බැඳී සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ ලෝක බලවතුන් එය වළක්වා ගැනීමට අපොහොසත් වීමයි. එම අවස්ථාවේ රුවන්ඩාව තුළ එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායක් (UNAMIR) ස්ථාපිත කර තිබුණද, ඔවුන්ට ප්රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ශක්තිමත් බලතල (Mandate) ලබා දී තිබුණේ නැත. ජනසංහාරය ආරම්භ වී දින කිහිපයකින් බෙල්ජියම් සාම සාධක සෙබළුන් 10 දෙනෙකු ඝාතනය වීමත් සමග, බටහිර රටවල් තම සෙබළුන් රුවන්ඩාවෙන් ඉවත් කර ගත්හ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙම සිදුවීම ‘ජනසංහාරයක්’ ලෙස නිල වශයෙන් පිළිගැනීමට පවා ප්‍රමාද වූයේ මැදිහත් වීමේ වගකීමෙන් මිදීමටය. ලෝක ප්‍රජාවේ මෙම නිද්‍රාශීලී පිළිවෙත නිසා මානුෂවාදී නීති උල්ලංඝනය කරන්නන්ට කිසිදු බියකින් තොරව තම මෙහෙයුම් දින 100ක් තිස්සේ කරගෙන යාමට අවස්ථාව ලැබුණි.
1994 ජූලි මාසයේදී ටුට්සි නායකත්වයෙන් යුත් රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ (RPF) මුළු රටේම බලය අත්පත් කර ගැනීමත් සමග ජනසංහාරය අවසන් විය. ඉන්පසු බිඳ වැටුණු මානුෂවාදී නීතිය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පියවර කිහිපයක් ගන්නා ලදී:
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ටැන්සානියාවේ අරුෂා නුවර විශේෂ අධිකරණය පිහිටුවන ලද අතර රුවන්ඩාව සඳහා වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICTR) ලෙස එය හැඳින්වීය. ජනසංහාරය සැලසුම් කළ ඉහළ පෙළේ දේශපාලන සහ මිලිටරි නායකයන්, මාධ්‍ය ප්‍රධානීන් රැසකට මෙහිදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. ජාත්‍යන්තර නීති ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘ලිංගික දූෂණය’ ජනසංහාරක මෙවලමක් සහ මානුෂවාදී නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස නිල වශයෙන් අර්ථකථනය කළේ ICTR අධිකරණය මගිනි.
සාමාන්‍ය උසාවි පද්ධතියට ඔරොත්තු නොදෙන තරම් ලක්ෂ සංඛ්‍යාත සැකකරුවන් පිරිසක් සිටි බැවින්, යුක්තිය ඉටුකරලීම උදෙසා ගචාචා (Gacaca) ප්‍රජා අධිකරණ ක්‍රමය භාවිත කෙරුණි. රුවන්ඩාවේ සාම්ප්‍රදායික ගම්මාන මට්ටමෙන් එම අධිකරණ ක්‍රියාත්මක වූ අතර ඒ හරහා වැරදිකරුවන්ට දඬුවම් දීම මෙන්ම සමාජීය සමගිය ඇති කිරීම ද සිදු විය.
1994 රුවන්ඩා ජනසංහාරය යනු සන්නද්ධ ගැටුමකදී මනුෂ්‍යත්වය සහ ජාත්‍යන්තර නීති මුළුමනින්ම අමතක කර දැමූ විට සිදුවන විනාශයේ තරම ලෝකයට කියාදුන් කැඩපතකි. එය අප්‍රිකානු මහාද්වීපයට පමණක් නොව මුළු මහත් ලෝකයටම විශාල පාඩමක් ඉගැන්වීය. මෙම ඛේදවාචකයෙන් පසුව ජාත්‍යන්තර ප්‍රජාව විසින් “නැවත කිසිදාක මෙවැන්නක් සිදු නොවීමට වගබලා ගත යුතුය” යන ස්ථාවරයේ සිට, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) වැනි ස්ථිර ආයතන පිහිටුවීම දක්වා පුළුල් ක්‍රියාවන්ට අවතීර්ණ විය.
මානුෂවාදී නීති කඩදාසියකට පමණක් සීමා නොකර, ඒවා ක්‍රියාත්මක කිරීමට ලෝක බලවතුන් තුළ දේශපාලන කැපවීමක් තිබීමේ අත්‍යවශ්‍යතාව රුවන්ඩා සිදුවීම මගින් මනාව තහවුරු කරයි.
ශ්‍රීමාල් DC
