
දියවැඩියා රෝගීන් සෑම වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂාවක් සිදුකරගත යුතු බවත්, වයස අවුරුදු 30 ඉක්මවූ පුද්ගලයින් දියවැඩියාව සඳහා පරීක්ෂා කරගැනීම වැදගත් බවත් සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.
ලෝක දියවැඩියා දිනයට සමගාමීව ජාතික අක්ෂි රෝහල සහ ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය එක්ව සංවිධානය කළ ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් ඊයේ (13) ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
“දියවැඩියාවෙන් ඇතිවන අන්ධභාවය වළක්වා ගනිමු” (Let’s Prevent Blindness Caused by Diabetes) යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණයේදී දියවැඩියාව හේතුවෙන් ඇතිවන අක්ෂි සංකූලතා මුල් අවධියේදීම හඳුනා ගැනීමේ වැදගත්කම සහ නියමිත කාලයට අක්ෂි පරීක්ෂාවන් සිදු කිරීමෙන් අන්ධභාවය වළක්වාගත හැකි ආකාරය පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි.
එමෙන්ම පවුලේ සාමාජිකයෙකුට දියවැඩියාව තිබීම, ස්ථූලතාවයෙන් පෙළීම හෝ ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳී තිබීම වැනි අවදානම් සාධක පවතින පුද්ගලයින් මාස හයකට හෝ වසරකට වරක් දියවැඩියාව පරීක්ෂා කරගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ කායික රෝග වෛද්‍ය රවී ජයවර්ධන මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, 2018–2019 වසරවල මෙරට සිදුකළ පර්යේෂණ දත්ත අනුව වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටි ජනගහනයෙන් සියයට 23කට දියවැඩියාව වැළඳී ඇති බව තහවුරු වී ඇති බවයි. එමෙන්ම ජනගහනයෙන් සියයට 30කට ආසන්න පිරිසක් තමන් දියවැඩියාවෙන් හෝ පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බව නොදැන සිටීම බරපතළ ගැටලුවක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
නිසි පාලනයකින් තොරව දියවැඩියාව පැවතීම හේතුවෙන් ශරීරයේ අභ්‍යන්තර අවයවවලට බරපතළ හානි සිදුවිය හැකි බවත්, දියවැඩියා රෝගීන් 100 දෙනෙකුගෙන් 54 දෙනෙකුට තම ජීවිත කාලය තුළ වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය. එමෙන්ම රෝගීන්ගෙන් සියයට 20කට ආසන්න පිරිසකට හෘදයාබාධ සහ අංශභාග තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතින බව ද පැවසීය.
දියවැඩියාව පාලනය කරගැනීම සඳහා නිවැරදි ආහාර රටාවක්, නිසි ව්‍යායාම, ප්‍රමාණවත් නින්ද සහ මානසික ආතතිය පාලනය කිරීම යන ප්‍රධාන කරුණු හතර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය කේ. ආර්. දයාවංශ මහතා පෙන්වා දුන්නේ දියවැඩියා රෝගීන්ට කිසිදු පූර්ව රෝග ලක්ෂණයකින් තොරව හදිසියේම පෙනීම අහිමි වීමේ අවදානමක් පවතින බවයි.
පෙනීම අහිමි වන තුරුම ඇතැම් රෝගීන්ට අක්ෂි සංකූලතා පිළිබඳ කිසිදු රෝග ලක්ෂණයක් නොදැනීම දියවැඩියාවේ ඇති බරපතළ තත්ත්වයක් බවත්, විධිමත් අක්ෂි පරීක්ෂාවක් මගින් අවදානම් තත්ත්වය කල්තියා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අන්ධභාවය වළක්වාගත හැකි බවත් ඔහු පැවසීය.
දියවැඩියාව හේතුවෙන් පෙනීම අහිමි වී රෝහල්ගත වන බහුතරයක් වයස අවුරුදු 35ත් 50ත් අතර වයස් කාණ්ඩයට අයත්, පවුලේ වගකීම් දරන වැඩකරන ජනතාව වීම කනගාටුදායක තත්ත්වයක් බව ද වෛද්‍ය දයාවංශ මහතා පෙන්වා දුන්නේය. එබැවින් සෑම දියවැඩියා රෝගියෙකුම අවම වශයෙන් වසරකට එක් වරක්වත් අක්ෂි වෛද්‍යවරයෙකු හමුවී දෑස් පරීක්ෂා කරගැනීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
මෙහිදී දියවැඩියාව නිසි ලෙස පාලනය කරගනිමින් ගුණාත්මක ජීවිතයක් ගත කිරීම පිළිබඳව වෛද්‍ය රවී ජයවර්ධන මහතා දේශනයක් පැවැත්වූ අතර, දියවැඩියා රෝගීන්ගේ පෙනීම ආරක්ෂා කරගැනීම සඳහා මුල් අවධියේ අක්ෂි පරීක්ෂාවන් සහ ගත යුතු මූලික පියවර පිළිබඳව ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය දීපානි වේවැල්වල මහත්මිය කරුණු පැහැදිලි කළාය.
එමෙන්ම දියවැඩියා දෘෂ්ටිවිතාන රෝගය (Diabetic Retinopathy) පාලනය කිරීම සහ පෙනීම සුරැකීමේ නවීන ප්රවේශයන් පිළිබඳව ශ්‍රී ලංකා විට්රියෝ රෙටිනා විශේෂඥයින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. ශ්රීහරනාදන් මහතා ද, දියවැඩියා අන්ධභාවය වැළැක්වීම සඳහා වන දැක්ම පිළිබඳව වෛද්‍ය කේ. ආර්. දයාවංශ මහතා ද දේශන පැවැත්වූහ.
දියවැඩියාව කල්තියා හඳුනාගෙන නිසි පාලනයකට යොමු වීමත්, නියමිත කාලසීමාවන්හිදී අක්ෂි පරීක්ෂාවන් සිදුකර ගැනීමත් මගින් දියවැඩියාව හේතුවෙන් ඇතිවිය හැකි බරපතළ සංකූලතා සහ පෙනීම අහිමි වීමේ අවදානම අවම කරගත හැකි බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.
