ශ්‍රී ලංකා පොලිසියට කැනඩා පොලිසියට සමාන නව නිල ඇඳුමක්!

ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා කැනඩා පොලිසියේ නිල ඇඳුමට බොහෝ සෙයින් සමාන නව නිල ඇඳුමක් හඳුන්වා දීමට යෝජනා වී තිබේ.

පොලිස් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ, කැනඩා පොලිසිය භාවිත කරන අළු පැහැති කමිසය සහ නිල් පැහැති කලිසම ඇතුළත් නිල ඇඳුම් ආකෘතිය කෙරෙහි මේ වන විට වැඩි අවධානයක් යොමුව ඇති බවයි.

2027 වසරේ අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, 2027 වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි. මෙරට දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි මෙම නව නිල ඇඳුම නිර්මාණය කිරීමට ද යෝජනා වී තිබේ.

ශ්‍රී ලංකා පොලිසිය දැනට භාවිත කරනු ලබන්නේ යටත්විජිත සමයේදී හඳුන්වා දුන් කාකි නිල ඇඳුමයි. එහි කාකි කමිසය ද කලිසම සඳහා භාවිත කරන රෙදි වර්ගයෙන්ම නිමවා තිබීම හේතුවෙන් මෙරට උෂ්ණාධික දේශගුණික තත්ත්වයන් යටතේ රාජකාරියේ නිරත වන පොලිස් නිලධාරීන්ට ශාරීරික අපහසුතා ඇති වන බවට කලක සිට අදහස් පළ වී තිබේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොලිස් නිල ඇඳුම වෙනස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දිගු කලක සිට සාකච්ඡා පැවතිය ද එය මෙතෙක් ක්‍රියාත්මක වී නොතිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා ඇත්තේ පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවත්ය.

නිල ඇඳුම සඳහා සුදුසු වර්ණ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, කැනඩා පොලිසිය භාවිත කරන අළු පැහැති කමිසය සහ නිල් පැහැති කලිසම සහිත ඇඳුම් ආකෘතිය කෙරෙහි වැඩි අවධානයක් යොමුව ඇති බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව, 2027 ජූනි මාසයේදී හඳුන්වා දීමට නියමිත නව පොලිස් නිල ඇඳුම මෙරට දේශගුණයට ගැළපෙන ආකාරයෙන් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විතව සකස් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.

Social Sharing
නවතම පුවත්