
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ පච්ච සලකුණු පිළිබඳ විධිවිධානය ඉවත් කිරීමටත්, සැකකරුවකු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමට පෙර පොලිස් භාරයේ තබාගත හැකි පැය 72ක කාලය පැය 48 දක්වා අඩු කිරීමටත් ආණ්ඩුව යෝජනා කර තිබේ.
ඒ සමඟ පනත් කෙටුම්පතේ තවත් වැදගත් වගන්ති ගණනාවකට සංශෝධන යෝජනා කර ඇත. මෙම පනත කාරක සභා අවස්ථාවේදී සංශෝධන සිදු කරමින් අදාල සංශෝධන එකතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කරන ලදී.
විශේෂයෙන්ම අධිකරණ නඩු කටයුතු පිළිබඳ ප්රවෘත්ති පළකිරීමට පෙර අධිකරණ අවසරය ලබාගත යුතු බවට වූ විධිවිධානය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබේ. වරෙන්තුවක් නොමැතිව නිවෙස් සහ වෙනත් පරිශ්‍ර සෝදිසි කිරීමේ බලය සීමා කිරීමටත්, නීතිඥයන් සහ ඔවුන්ගේ සේවාදායකයන් අතර රහසිගත සන්නිවේදනවලට නීතිමය ආරක්ෂාවක් එක් කිරීමටත් යෝජනා කර ඇත.
කෙසේ වෙතත්, එම කෙටුම්පතේ තිබුණු ගැටලු සහගත වගන්ති ගණනාවක් රජය විසින් වෙනස් නොකර තැබීමට තීන්දු කර තිබේ.
විධායක නිලධාරියකුගේ නියමයකින් සැකකරුවකු වසරක් දක්වා රඳවා තැබිය හැකි ක්‍රමය, එම නියමය ක්‍රියාත්මක කිරීමට මහේස්ත්‍රාත්වරයා බැඳී සිටින විධිවිධාන සහ පොලිස් භාරයේදී ලබාගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට හැකි වන ප්‍රතිපාදන වෙනස් නොකර එලෙසම තැබීමට අදාල සංශෝධන අනුව යෝජනා වේ.
දැනට ඇති තත්ත්වය අනුව පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවල සැලකිය යුතු ගුණාත්මක වෙනස්කම් යෝජනා කර තිබුණද, එහි මූලික අපරාධ නඩු විධාන ක්‍රමය වෙනස් වී ඇති බවක් නොපෙනේ. කෙසේ වෙතත්, යෝජනාවලට ඇහුම්කන් දෙන බව රජය ප්‍රකාශ කර ඇති අතර, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටි සොලිසිටර් ජෙනරල් විරාජ් දයාරත්න ප්‍රකාශ කළේ අනෙකුත් යෝජනාවලට ඇහුම්කන් දීමට සූදානම් බවය.
ජනාධිපතිවරයා පොරොන්දු වූ සංශෝධන තුනට වඩා වෙනස්කම්
නොවැම්බර් 5 වැනිදා කොළඹ පැවති උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ පනතේ මූලික කරුණු තුනක් සංශෝධනය කිරීමට ආණ්ඩුව සූදානම් බවයි.
ඒ අනුව,
- පැය 72ක කාලසීමාව පැය 48 දක්වා අඩු කිරීම.
- අපරාධ කණ්ඩායම් සාමාජිකත්වය හඳුනාගැනීමේදී පච්ච සලකුණු භාවිත කිරීමේ විධිවිධානය ඉවත් කිරීම.
- සුරාබදු ආඥාපනත යටතේ ඇති වැරදි මෙම පනතින් ඉවත් කිරීම.
මානව හිමිකම් හා මූලික අයිතිවාසිකම් පිළිබඳ විරෝධතා ඉදිරිපත් කරන පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමටත් ආණ්ඩුව සූදානම් බව ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව නව යෝජනා ඇතුළත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොවැම්බර් 11 වැනිදා ඉදිරිපත් කරන ලදී.
පච්ච සලකුණු ඉවත් කළත් ආශ්‍රය මත සැක කිරීම ඉතිරියි
පනත් කෙටුම්පතේ 4(2) වගන්තිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තීරණය කිරීමේදී අධිකරණයකට සලකා බැලිය හැකි කරුණු දක්වයි.
මුල් කෙටුම්පතේ 4(2)(ඇ) වගන්තිය අනුව යම් පුද්ගලයකු අපරාධ කණ්ඩායමක සාමාජිකයන් භාවිත කරන ඇඳුම් විලාසිතා, අත් සංඥා, භාෂාව හෝ පච්ච සලකුණු භාවිත කරන්නේද යන්න සලකා බැලිය හැකි විය.
නව ලේඛනයෙන් එම උපවගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇත.
එය පුද්ගලයකුගේ බාහිර පෙනුම මත ඔහුට අවාසිදායක නිගමන ගොඩනැගීමේ අවදානම අවම කරන සංශෝධනයකි.
එහෙත් 4(2)(ඈ) වගන්තිය මගින් පුද්ගලයකු අපරාධ කණ්ඩායමක ප්‍රකට සාමාජිකයන් සමඟ පවත්වන සම්බන්ධතා සලකා බැලීමේ හැකියාව තවදුරටත් පවතී.
එහි මුලින් තිබූ සම්බන්ධතාවක් යන වචනය වෙනුවට ‘සැකකටයුතු සම්බන්ධතාවක්’ යන වචන ඇතුළත් කර තිබේ.
මෙය යම් සීමා කිරීමක් වුවද, සැකකටයුතු සම්බන්ධතාවක් යනු කුමක්ද යන්න නිශ්චිතව පැහැදිලි කර නොමැත.
තවත් සංශෝධනයකින් අපරාධ කණ්ඩායමක සාමාජිකයන් සමඟ පවත්වන හමුවීම් පිළිබඳ තීරණය කිරීමේදී දැනුවත්ව එවැනි හමුවීම්වලට සහභාගි වීම යන නිර්ණායකය ඇතුළත් කර ඇත.
එමෙන්ම කණ්ඩායමකින් මූල්‍යමය හෝ වෙනත් ප්රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් ද දැනුවත්ව ප්රතිලාභ ලබාගැනීම යන කොන්දේසිය එකතු කර තිබේ.
අපරාධ වගකීම් සහ දඬුවම් වෙනස් කරයි
නව ලේඛනයේ තවත් වැදගත් සංශෝධන ඇත්තේ 4, 5 සහ 6 වගන්තිවල ය.
මුල් 4(1) වගන්තියෙන් අපරාධයක් සිදු කිරීමට වෙනත් පුද්ගලයන් සමඟ එකඟවීම මූලික කරගෙන අපරාධ වගකීමක් හඳුන්වා දී තිබිණි.
නව පාඨය අනුව සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු ලෙස බරපතළ අපරාධයක් සිදු කිරීම මූලික කරගෙන එම වරද නැවත නිර්වචනය කර තිබේ.
එය වරද ඇතිවන අවස්ථාව සම්බන්ධ සැලකිය යුතු වෙනසකි.
5 වැනි වගන්තියේ අපරාධයකට තැත් කිරීම, අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම සහ වෙනත් ආකාරයෙන් සම්බන්ධවීම පිළිබඳ වචන කිහිපයක් සීමා කර තිබේ. අදාළ අපරාධය අවසානයේ සිදු නොවූ අවස්ථාවක දඬුවම අඩු කිරීමට ද යෝජනා කර ඇත.
මුල් කෙටුම්පතේ එවැනි අවස්ථාවක වසර දෙකකට නොඅඩු සහ වසර පහළොවකට නොවැඩි සිරදඬුවමක් නියම කළ හැකි වූ නමුත්, නව පාඨයෙන් අදාළ වරදට නියමිත උපරිම දඬුවමෙන් හතරෙන් එකක් දක්වා දඬුවම් නියම කිරීමේ ක්‍රමයක් යෝජනා කර තිබේ.
6 වැනි වගන්තියේ සාමාන්‍ය අපරාධ සඳහා අමතර දඬුවම් පැනවීමේ කොටස් ගණනාවක් ඉවත් කිරීමට යෝජනා කර ඇත.
එහෙත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු නොවන පුද්ගලයකු, එම කණ්ඩායමේ පොදු අපරාධ අරමුණක් ඉදිරියට ගෙනයාම සඳහා දැනුවත්ව ක්‍රියා කිරීම සම්බන්ධ වරද තවදුරටත් පවතී.
එබැවින් අපරාධ වගකීම්වල විෂය පථය ඇතැම් තැන්වල සීමා කර තිබුණද, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු නොවන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් ඉවත් කර නැත.
අධිකරණ වාර්තාකරණයට පනවා තිබූ තහනම ඉවත් කරයි
ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වැදගත්ම සංශෝධනයක් වන්නේ 14(3) වගන්තිය සම්පූර්ණයෙන් ඉවත් කිරීම ය.
මුල් කෙටුම්පත අනුව මෙම පනත යටතේ වන බරපතළ අපරාධයකට අදාළ අධිකරණ නඩු කටයුත්තක් පිළිබඳ කරුණු අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව ප්‍රසිද්ධ කිරීම අපරාධයක් විය.
එයට වසර දෙකක් දක්වා සිරදඬුවම් පවා නියම කළ හැකිව තිබිණි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මෙම විධිවිධානය මාධ්‍ය නිදහසට සහ විවෘත අධිකරණ ක්‍රමයට බලපාන බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
නව ලේඛනයෙන් එම උපවගන්තිය සම්පූර්ණයෙන් කපාහැර තිබේ.
වරෙන්තුවක් නැතිව නිවසක් සෝදිසි කිරීම සීමා කරයි
17(1)(ඇ) වගන්තිය මුල් කෙටුම්පතේ විශාල විරෝධයකට ලක්වූ තවත් විධිවිධානයකි.
එමගින් පොලිසියට වරෙන්තුවක් නොමැතිව පරිශ්රයකට හෝ ඉඩමකට ඇතුළු වී සෝදිසි කිරීමට බලය ලබාදී තිබිණි.
නව සංශෝධනයෙන් සාමාන්‍යයෙන් සෝදිසි වරෙන්තුවක් තිබිය යුතු බව සඳහන් කර ඇත.
එහෙත් වරෙන්තුවක් ලබාගන්නා තුරු සිටීමෙන් සැකකරුවකු පලායෑමට හෝ සාක්ෂි සඟවා තැබීමට අවස්ථාව ලැබිය හැකි අවස්ථාවක, ඒ සඳහා ඇති හේතු සටහන් කර වරෙන්තුවක් නොමැතිව සෝදිසි කිරීමට තවදුරටත් අවස්ථාව පවතී.
සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ අපරාධ වගකීමත් සංශෝධනය කරයි
15(1) වගන්තිය යටතේ සමාගමක් විසින් සිදුකරන අපරාධයකට එහි අධ්‍යක්ෂවරුන්ට වගකීම පැවරීම පිළිබඳ විධිවිධාන තිබේ.
මුල් පාඨයේ යම් අධ්යක්ෂවරයකු වරද පිළිබඳ දැන නොසිටි බව හෝ වරද වැළැක්වීමට නිසි උත්සාහයක් ගත් බව විමර්ශන නිලධාරියාට පැහැදිලි කළහොත් නඩු නොපැවරීමේ ක්‍රමයක් තිබිණි.
නව සංශෝධනයෙන් එම පොලිස් නිලධාරියාගේ තීරණය පිළිබඳ කොටස ඉවත් කර ඇත. ඒ වෙනුවට අදාළ අධ්යක්ෂවරයා වරද තමන්ගේ දැනුමකින් තොරව සිදුවූ බව හෝ එය වැළැක්වීමට නිසි උත්සාහයක් ගත් බව අධිකරණය ඉදිරියේ ඔප්පු කිරීමේ විධිවිධානයක් ඉදිරිපත් කර තිබේ.
මෙය විමර්ශන නිලධාරියාට තිබූ අභිමතයක් ඉවත් කිරීමකි.
සැකකරුවකු හුදෙකලා කර තැබීමේ වචන ඉවත් කරයි
25(2)(ඈ) වගන්තිය මුලින් සැකකරුවකු හුදෙකලා කර තැබීමට අධිකරණයෙන් නියෝග ලබාදීමේ අවස්ථාවක් සලසා තිබිණි.
නව සංශෝධනයෙන් හුදෙකලා කර තැබීම යන වචන ඉවත් කර, අධිකරණය විසින් තීරණය කරන නීත්‍යනුකූල බලධාරියකුගේ භාරයේ හෝ ආරක්ෂාව යටතේ සැකකරු තැබීමට හැකි බව සඳහන් කර ඇත.
නීතිඥ–සේවාදායක රහස්‍යභාවයට අලුත් ආරක්ෂාවක්
තවත් වැදගත් සංශෝධන දෙකක් 45 සහ 65 වගන්තිවලට යෝජනා කර තිබේ.
45 වැනි වගන්තිය පෞද්ගලික විද්‍යුත් සන්නිවේදන, සංකේතනය කළ තොරතුරු සහ දත්ත ලබාගැනීමේ බලතල සම්බන්ධයෙනි.
එයට අලුතින් එකතු කළ 45(4) වගන්තිය මගින් සාක්ෂි ආඥාපනතේ 126 වැනි වගන්තිය අදාළ වන බව සඳහන් කර තිබේ.
එමෙන්ම වෙනත් පුද්ගලයකුගේ අපරාධයක් පිළිබඳ තොරතුරු හෙළි නොකිරීම වරදක් බවට පත්කරන 65 වැනි වගන්තියට අලුතින් 65(3) උපවගන්තියක් එකතු කර ඇත.
එහිද සාක්ෂි ආඥාපනතේ 126 වැනි වගන්තියේ ආරක්ෂාව අදාළ වන බව සඳහන් වේ.
සාක්ෂි ආඥාපනතේ 126 වැනි වගන්තිය නීතිඥයන් සහ සේවාදායකයන් අතර වෘත්තීය කටයුතු සඳහා සිදුවන රහසිගත සන්නිවේදන ආරක්ෂා කරන විධිවිධානයකි.
පැය 72 පැය 48 කළත් වසරක රඳවා තැබීම වෙනස් කර නැහැ
මෙතෙක් සඳහන් කළේ සැලකිය යුතු සංශෝධනයන්ය.
එහෙත් පනත් කෙටුම්පතේ මූලික ස්වභාවය පිළිබඳ ප්රශ්නය මතු වන්නේ රඳවා තැබීමේ විධිවිධාන සලකා බලන විටය.
20(1) වගන්තියේ මුලින් තිබූ පැය 72ක කාලසීමාව පැය 48 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.
මෙය අත්අඩංගුවට ගත් සැකකරුවකු මුලින්ම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර පොලිස් භාරයේ තබාගත හැකි කාලයයි.
එම සංශෝධනය වැදගත් වුවද, එයින් සැකකරුවකු දිගුකාලීනව රඳවා තැබීමේ බලය වෙනස් නොවේ.
21(3) වගන්තිය අනුව වරකට මාස දෙකක් බැගින්, සමස්තයක් ලෙස වසරක් දක්වා රඳවා තැබීමේ නියමයන් නිකුත් කළ හැකිය.
ඒවා නිකුත් කිරීමේ බලය පවතින්නේ පොලිසිය විෂයය පවරා ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයාටය.
21(4) වගන්තිය අනුව විමර්ශන පැවැත්වීම, සාක්ෂි ලබාගැනීම සහ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම එවැනි නියමයක් නිකුත් කළ හැකි අරමුණු අතර වේ.
රඳවා තැබීම දීර්ඝ කිරීමේදී මහාධිකරණයේ අධීක්ෂණය ඇතුළු නීතිමය විධිවිධාන පවතින නමුත්, රඳවා තැබීමේ මුල් නියමය නිකුත් කරන්නේ විධායක නිලධාරියෙකි.
එබැවින් පැය 48ක සංශෝධනයෙන් වෙනස් වී ඇත්තේ සැකකරුවකු මුලින්ම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමේ කාලය මිස, විධායක රඳවා තැබීමේ නියමයක් යටතේ වසරක් දක්වා සැකකරුවකු රඳවා තැබිය හැකි ක්‍රමය නොවේ.
මහේස්ත්රාත්වරයාට නිදහස් කිරීමේ තීරණයක් ගත හැකිද?
මෙහිදී 19(4) සහ 20(3) වගන්ති විශේෂයෙන් වැදගත් වේ.
19(4) අනුව මෙම පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවකු මහේස්ත්රාත්වරයාට ඉදිරිපත් නොකර මුදාහැරීමට නොහැකිය.
20(3)(අ) අනුව විධායකය නිකුත් කළ රඳවා තැබීමේ නියමයක් ඉදිරිපත් කළහොත් මහේස්ත්‍රාත්වරයා එය බලාත්මක කළ යුතුය.
20(3)(ආ) අනුව එවැනි නියමයක් නොමැති නම් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළ යුතුය.
මෙම විධිවිධාන නව සංශෝධනවලින් වෙනස් කර නැත.
එනම්, සැකකරුවකු මුලින්ම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට අධිකරණය සෑහීමට පත්වුවද, එම අවස්ථාවේම සැකකරු නිදහස් කිරීමට පැහැදිලි විකල්පයක් 20(3) වගන්තියෙන් ලබාදී නොමැත.
සාමාන්‍ය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තිය තවමත් බැහැරයි
32(2) වගන්තිය යටතේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 සහ 116 වගන්ති අදාළ නොවන බවට වූ විධිවිධානයත් සංශෝධනය කර නැත.
සාමාන්‍ය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වැනි වගන්තිය අනුව විමර්ශන අවසන් නොවූ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පොලිසිය විසින් විමර්ශන වාර්තාවක් සහ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශවල සාරාංශයක් අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.
එමගින් සැකකරු තවදුරටත් රඳවා තැබීමට ප්‍රමාණවත් හේතු තිබේද යන්න අධිකරණයට පරීක්ෂා කළ හැකිය.
යෝජිත පනතේ 32(2) වගන්තියෙන් එම සාමාන්‍ය ක්‍රමය බැහැර කරයි.
එමෙන්ම 32(3) වගන්තියෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 306 වැනි වගන්තිය යටතේ පවතින කොන්දේසි සහිතව මුදාහැරීමේ අධිකරණමය අභිමතය ද බැහැර කර තිබේ.
මෙම විධිවිධාන නව සංශෝධනවලින් වෙනස් කර නැත.
මේ නිසා සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සතුව තිබූ කරුණු පිළිබඳ තොරතුරු ලබාගැනීම සහ එම අත්අඩංගුවට ගැනීම ඵලදායීව අභියෝගයට ලක්කිරීම සම්බන්ධයෙන් මතු වූ විරෝධය තවමත් පවතී.
පොලිස් පාපොච්චාරණ පිළිගැනීමේ ක්‍රමය ඉතිරියි
පනත් කෙටුම්පතේ 46 සහ 47 වගන්ති නීතිඥ සංගමය දැඩි ලෙස අභියෝගයට ලක් කළ විධිවිධාන අතර වේ.
46 වැනි වගන්තියෙන් සාක්ෂි ආඥාපනතේ 25, 26 සහ 30 වගන්ති මෙම විශේෂ නඩු සඳහා අදාළ නොකරන බව සඳහන් කරයි.
සාමාන්‍ය නීතිය යටතේ පොලිස් නිලධාරීන් ඉදිරියේ ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට ඇති සීමා මෙයින් ඉවත් වේ.
47 වැනි වගන්තියෙන් සහකාර පොලිස් අධිකාරි නිලයට නොඅඩු පොලිස් නිලධාරියකු ඉදිරියේ ලබාගන්නා නිශ්චිත ප්‍රකාශ, පාපොච්චාරණ වුවත්, සාක්ෂි ලෙස භාවිත කිරීමට අවස්ථාව සලසා තිබේ.
මෙම මූලික විධිවිධාන නව ලේඛනයෙන් ඉවත් කර නැත.
47(2) වගන්තිය අනුව ප්‍රකාශයක් සාක්ෂි ආඥාපනතේ 24 වැනි වගන්තිය යටතේ පිළිගත නොහැකි බව ඔප්පු කිරීමේ භාරය එය අභියෝග කරන පුද්ගලයා වෙත පවරා තිබීමත් තවදුරටත් පවතී.
කෙසේ වෙතත්, 47(6) වගන්තියට අමතර ආරක්ෂණ කිහිපයක් ඇතුළත් කර තිබේ.
ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේදී තාක්ෂණික දෝෂයක් ඇතිවන අවස්ථාවක පටිගත නොකර ප්‍රශ්න කිරීම සඳහා මහේස්ත්රාත්වරයාගේ පූර්ව අනුමැතිය ලබාගැනීම පිළිබඳ විධිවිධානයක් එක් කර ඇත. එසේ ප්‍රශ්න කළ පුද්ගලයා පැය 12ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බවත් සඳහන් වේ.
තොරතුරු ලබාගැනීමේ පොලිස් බලතල තවමත් පුළුල්
පනත් කෙටුම්පතේ තවත් විශේෂත්වයක් වන්නේ පොලිසියට ලබාදී ඇති පුළුල් විමර්ශන බලතලයි.
18(2) වගන්තියෙන් අත්අඩංගුවට ගැනීම සඳහා සන්නද්ධ හමුදාවේ සහාය ලබාගැනීමට පොලිස් නිලධාරීන්ට අවස්ථාව තිබේ.
28 වැනි වගන්තියෙන් සන්නිවේදන නිරීක්ෂණය, දත්ත ලබාගැනීම සහ විශේෂ විමර්ශන ක්‍රම භාවිත කිරීමේ බලතල සලසා ඇත.
44(4) වගන්තියෙන් නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු පොලිස් නිලධාරියකුට මහේස්ත්‍රාත් නියෝගයක් නොමැතිව ඇතැම් දුරකථන සහ දත්ත සේවා සපයන්නන්ගෙන් ග්රාහක අනන්‍යතා, ඇමතුම් සහ දුරකථන කුලුනු ස්ථාන පිළිබඳ තොරතුරු ලබාගැනීමට අවස්ථාව තිබේ.
43 වැනි වගන්තියෙන් බැංකු සහ වෙනත් මූල්‍ය ආයතනවලින් පුද්ගලයන්ගේ මූල්‍ය තොරතුරු ලබාගැනීමේ ක්‍රමයක් ද සලසා තිබේ.
මෙම බලතල සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කළ අධිකරණ අධීක්ෂණය, පුද්ගලිකත්වය සහ බලතල අවභාවිත කිරීමේ අවදානම පිළිබඳ විරෝධතා බොහොමයක් නව සංශෝධනවලින් විසඳා නැත.
මාධ්‍යවේදීන්ට තවමත් වසර දහයක සිරදඬුවම් අවදානමක්
අධිකරණ වාර්තාකරණයට පනවා තිබූ 14(3) වගන්තිය ඉවත් කිරීමට යෝජනා කිරීම වැදගත් වුවද, 56 වැනි වගන්තිය තවදුරටත් පවතී.
එමගින් විමර්ශනයකට අගතියක් සිදුවිය හැකි තොරතුරු වෙනත් පුද්ගලයකුට හෙළි කිරීම වරදක් බවට පත්කර තිබේ. එම වරදට වසර දහයක් දක්වා සිරදඬුවම් නියම කළ හැකිය.
56(4) වගන්තිය අනුව එම තොරතුරු හෙළි කිරීමෙන් විමර්ශනයකට අගතියක් සිදුවිය හැකි බව තමන් නොදැන සිටි බව ඔප්පු කිරීම චූදිතයාට විත්තිවාචකයක් වේ.
නීතිඥ සංගමය මතු කළ ගැටලුව වන්නේ මෙම විධිවිධානය මහජන යහපත වෙනුවෙන් තොරතුරු හෙළි කරන පුද්ගලයන්ට, මාධ්‍යවේදීන්ට හෝ පොලිස් අකටයුතුකම් හෙළි කරන පුද්ගලයන්ට අසාධාරණ ලෙස භාවිත කිරීමට හැකි වීමේ අවදානමයි.
තවත් වගන්ති ගණනාවක් වෙනස් කර නැහැ
නව සංශෝධනවලින් විසඳා නොමැති බව පෙනෙන අනෙකුත් ගැටලු අතර, 27(2) යටතේ සාමාන්‍ය බන්ධනාගාර ආඥාපනතේ ආරක්ෂණ අදාළ නොකරන අවස්ථා, 41 යටතේ පොලිසිය නඩු භාණ්ඩ ඍජුව විශේෂඥයන් වෙත යැවීම, 48 සහ 49 යටතේ සාක්ෂිකරුවන් හරස් ප්‍රශ්න කිරීමට නොහැකි ප්‍රකාශ සහ ඇතැම් ලේඛන සාක්ෂි ලෙස භාවිත කිරීම ඇතුළත් වේ.
50 වැනි වගන්තියෙන් අපරාධ කණ්ඩායමක සාමාජිකත්වය තීරණය කිරීමේදී පෙර හැසිරීම් සහ සම්බන්ධතා සලකා බැලීමට ඇති සාක්ෂිමය අවස්ථාවත් තවමත් පවතී.
51 වැනි වගන්තියෙන් නඩු විභාගයක් අතරතුර චෝදනා වෙනස් කිරීමේ විශේෂ ක්‍රමයත්, 52 වැනි වගන්තියෙන් සාක්ෂිකරුවකුගේ පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් අපරාධ ක්‍රියාමාර්ග ගැනීමේ විධිවිධානත් ඉතිරි කර ඇත.
57 වැනි වගන්තියේ අපරාධයට සම්බන්ධ නොවූ තුන්වැනි පාර්ශ්වයන්ගේ දේපළ රාජසන්තක වීම වැළැක්වීමට ප්‍රමාණවත් ආරක්ෂණ නොමැති බවට වූ විරෝධයත්, 58 වැනි වගන්තියේ අනිවාර්ය දඬුවම් සහ කලින් නිදහස් කිරීමේ සීමා පිළිබඳ විරෝධයත් තවමත් අදාළ වේ.
එබැවින් අධිකරණයේදී අභියෝගයට ලක් කළ විධිවිධාන ගණනාවක් නව සංශෝධනවලින් සම්පූර්ණයෙන් වෙනස් වී නැත.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 26ක් ඉදිරිපත් වී තිබිණි.
නොවැම්බර් 4 වැනිදා පැවැති විභාගය අවසානයේ පෙත්සම්කාර පාර්ශ්වයන්ට ලිඛිත දේශන ඉදිරිපත් කිරීමටත්, නීතිපතිවරයාට නොවැම්බර් 9 වැනිදා ලිඛිත දේශන ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබාදී තිබිණි. එම කාලය ලබා දී තිබුණේ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන සංශෝධන සලකා බැලීමටය. නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ මීට අමතරව වෙනත් සංශෝධණ තිබේනම් ඒවාද සලකා බැලීමට සූදානම් බවය.
උපුටා ගැනීම What News
