PSTA : රඳවා තැබීමේ බලයේ අර්බුදය!

PSTA රඳවා තැබීමේ බලයේ අර්බුදය

PSTA පනත් කෙටුම්පත විමසා බැලිය යුත්තේ එහි නම හෝ ප්‍රකාශිත අරමුණ දෙස පමණක් බලා නොවේ. පොලිසියට, ආරක්ෂක අංශවලට සහ විධායකයට ලබාදෙන බලතල මොනවාද? ඒවා ක්‍රියාත්මක කිරීම පාලනය කිරීමට අධිකරණයට ඇති හැකියාව කෙබඳුද? අත්අඩංගුවට ගන්නා පුද්ගලයකුට තම අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට ඇති ඉඩකඩ කෙතරම්ද? යන ප්‍රශ්න මතය.

සාමාන්‍ය අපරාධ නීතිය සහ PSTA අතර වෙනස

Sarah Hussain: 🤔 𝕋𝕖𝕣𝕣𝕠𝕣𝕚𝕤𝕞 𝕃𝕖𝕤𝕤𝕠𝕟 Part 2 𝐖𝐡𝐲 𝐢𝐬 𝐫𝐚𝐢𝐬𝐢𝐧𝐠 𝐚𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐚𝐛𝐨𝐮𝐭 𝐭𝐞𝐫𝐫𝐨𝐫𝐢𝐬𝐦 𝐚 𝐝𝐞𝐥𝐢𝐜𝐚𝐭𝐞 𝐭𝐨𝐩𝐢𝐜? Because the way we discuss it matters. Careless messaging can create anxiety, reinforce ...

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) යටතේ පොලිසියට විශේෂ බලතල ලබාදී තිබුණි. එහෙත් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමක් සිදුකරන විට පොලිසියේ බලතල සහ රඳවා තබාගැනීමේ කාලසීමාව සම්බන්ධයෙන් වෙනස් සීමාවන් පවතී.

සාමාන්‍යයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වැනි වගන්තිය යටතේ, සංඥය වරදක් (Cognizable Offence) සම්බන්ධයෙන් සාධාරණ පැමිණිල්ලක්, විශ්වාසදායක තොරතුරක් හෝ සාධාරණ සැකයක් පවතින අවස්ථාවක පොලිසියට වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිය. එහෙත් එම අත්අඩංගුවට ගැනීමෙන් පසු 36 සහ 37 වගන්ති අනුව අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු අතර, සාමාන්‍ය නීතිය යටතේ ගමන් කාලය හැර පැය 24කට වඩා පොලිස් භාරයේ තබාගත නොහැකිය. ඇතැම් නිශ්චිත වැරදි සඳහා විශේෂ විධිවිධාන යටතේ අධිකරණ අවසරයෙන් එය පැය 48 දක්වා දීර්ඝ කළ හැකිය.

PTA යටතේ 6 වැනි වගන්තිය මගින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීම, පරිශ්‍රවලට ඇතුළු වී සෝදිසි කිරීම සහ පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරීමේ විශේෂ බලතල ලබාදී තිබුණි. 7 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයකු පැය 72ක් දක්වා පොලිස් භාරයේ තබාගත හැකි වූ අතර, 9 වැනි වගන්තිය යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගේ රඳවා තබාගැනීමේ නියෝගයක් මගින් එම කාලය තවදුරටත් දීර්ඝ කළ හැකි විය.

PSTA කෙටුම්පත මෙම පැරණි ක්‍රමයේ ඇතැම් අංග වෙනස් කර ඇත. එහෙත් එමගින් විශේෂ සෝදිසි කිරීමේ බලතල, දීර්ඝ රඳවා තබාගැනීමේ ක්‍රමවේද සහ විධායක බලපෑම යටතේ ක්‍රියාත්මක වන රඳවා තැබීමේ ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් කර නැත.

1. වගන්ති 18, 19 සහ 20: වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීම සහ සෝදිසි කිරීම

පොලිස් අත්අඩංගුවට ගැනීමක් හමුවේ ඔබ සතු බලතල සහ අයිතිවාසිකම්! - aithiya

PSTA කෙටුම්පතේ 18 වැනි වගන්තිය අනුව එම පනත යටතේ ඇති සියලු වැරදි සංඥය වැරදි බවට පත් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වැරදි සම්බන්ධයෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇතිවේ.

එහෙත් වඩාත් විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ 20 වැනි වගන්තියටය.

එම වගන්තිය අනුව සාධාරණ සැකයක් (Reasonable Suspicion) පවතින අවස්ථාවක පොලිස් නිලධාරියකුට,

  • පුද්ගලයකු නැවැත්වීමට හා සෝදිසි කිරීමට,

  • වාහන, යාත්‍රා, දුම්රිය සහ ගුවන් යානා පරීක්ෂා කිරීමට,

  • සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට,

  • පරිශ්‍රයකට හෝ ඉඩමකට ඇතුළු වී සෝදිසි කිරීමට,

  • වරදකට සම්බන්ධ බවට සැක කරන ලේඛන, භාණ්ඩ සහ වෙනත් දෑ භාරයට ගැනීමට බලය ලැබේ.

මෙහි ඇති ප්‍රධාන ගැටලුව වන්නේ සෝදිසි කිරීම සඳහා සෑම අවස්ථාවකදීම අධිකරණ වරෙන්තුවක් ලබාගැනීම අනිවාර්ය නොවීමයි.

සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට ඇති බලය සහ පරිශ්‍රයකට ඇතුළු වී සෝදිසි කිරීමට ඇති බලය එකිනෙකට සමාන නොවේ. එහෙත් PSTA යටතේ සාධාරණ සැකයක් මත පුද්ගලයකු මෙන්ම ඔහු සම්බන්ධ යැයි සැක කරන පරිශ්‍රයක්ද සෝදිසි කිරීමට විශේෂ බලයක් යෝජනා කර තිබේ.

මෙහිදී සාධාරණ සැකය යන්න තීරණය කිරීමේදී අදාළ නිලධාරියාගේ අභිමතයට කොපමණ ඉඩක් ලැබෙන්නේද යන්න තීරණාත්මකය. එවැනි අභිමත බලයක් සඳහා පැහැදිලි නිර්ණායක සහ ස්වාධීන අධීක්ෂණයක් නොමැති නම් එය අත්තනෝමතික සෝදිසි කිරීම්වලට මඟ පෑදිය හැකිය.

19 වැනි වගන්තිය පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක්: මෙය පොලිසියට අලුතින් බලතල ලබාදෙන වගන්තියක් නොවේ. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පොලිස් නිලධාරියකුට ඇති සෝදිසි කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලතල, නියමිත සීමාවන් යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ටද අදාළ කරයි. ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයට සිවිල් පොලිසියෙන් පිටත ආරක්ෂක අංශද සම්බන්ධ කරගැනීම මෙහි වැදගත් වෙනසකි.

2. වගන්තිය 24: හමුදාවට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ බලය

පැය තුනක දී 112 ක් අත්අඩංගුවට - Lankadeepa Online

PSTA කෙටුම්පතේ 24 වැනි වගන්තිය අනුව විශේෂ අවස්ථාවලදී ත්‍රිවිධ හමුදා සාමාජිකයකුට හෝ වෙරළාරක්ෂක නිලධාරියකුට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සහ සෝදිසි කිරීමට හැකිය.

මෙවැනි අවස්ථා ලෙස,

  • අදාළ ස්ථානයේ පොලිස් නිලධාරියකු නොමැති වීම සහ ඔහුගේ සහාය වහා ලබාගැනීමට නොහැකි වීම,

  • ආසන්න ත්‍රස්තවාදී ක්‍රියාවක් වැළැක්වීමට ක්ෂණිකව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව,

  • නීත්‍යනුකූල බලය යටතේ මහජන සාමය පවත්වාගෙන යාමට හෝ ත්‍රස්තවාදය වැළැක්වීමේ මෙහෙයුමක් සඳහා හමුදාව යොදවා තිබීම දක්වා තිබේ.

එවැනි අත්අඩංගුවට ගැනීමකදී අදාළ පුද්ගලයා පැය 24ක් ඇතුළත පොලිසියට භාරදිය යුතුය.

මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ හමුදාවට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් පාලන මූලධර්ම සමඟ කෙතරම් ගැළපෙන්නේද යන්නයි.

හමුදාවේ ප්‍රධාන කාර්යය ජාතික ආරක්ෂාව හා ආරක්ෂක මෙහෙයුම් වන අතර, අපරාධ විමර්ශනය සහ සිවිල් ජනතාව සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම පොලිසිය සතුය. එබැවින් හමුදා මැදිහත්වීම සඳහා පැහැදිලි සීමාවන්, වගකීම් පැවරීමේ ක්‍රමවේද සහ ස්වාධීන පරීක්ෂණ යාන්ත්‍රණ තිබිය යුතුය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයද පොලිස් හා හමුදා ඒකාබද්ධ මෙහෙයුම්වලදී අණදීමේ වගකීම් පැහැදිලි නොවීම නිසා වගවීමේ හිඩැස් ඇතිවිය හැකි බව පෙන්වා දී ඇත.

3. වගන්තිය 26: පැය 48ක් පොලිස් භාරයේ තබාගැනීම සහ අමතර පැය 24

police torture stories Archives - Page 2 of 10 - aithiya

සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත් පුද්ගලයකු පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතුය. එහෙත් PSTA කෙටුම්පතේ 26 වැනි වගන්තිය අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය.

එමෙන්ම තවදුරටත් විමර්ශනය සඳහා අවශ්‍ය බවට පොලිසිය සාධාරණ හේතු ඉදිරිපත් කරන්නේ නම්, මහේස්ත්‍රාත්වරයාට ලිඛිත හේතු සටහන් කරමින් තවත් පැය 24ක් පොලිස් භාරයේ තබාගැනීමට අවසර ලබාදිය හැකිය.

ඒ අනුව මෙම වගන්තිය යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර නොව, පළමු වරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවද අමතර පැය 24ක් පොලිස් භාරයේ රඳවාගැනීමේ හැකියාව පවතී.

මෙය සැකකරුවකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට වැඩි කාලයක් ලබාදෙන ක්‍රමයකි. එහෙත් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට වධහිංසා කිරීමේ හෝ බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගැනීමේ අවදානමක් පවතින පසුබිමක මෙම අමතර කාලය සඳහා දැඩි ආරක්ෂණ අවශ්‍ය වේ.

විශේෂයෙන්ම ප්‍රශ්න කිරීම් පටිගත කිරීම, නීතිඥයකුගේ සහාය ලබාගැනීම සහ ස්වාධීන වෛද්‍ය පරීක්ෂණයකට ප්‍රවේශ වීම අත්‍යවශ්‍ය වේ.

4. වගන්තිය 27: පොලිසියේ ඉල්ලීම මත විධායකයට රඳවා තබාගැනීමේ නියෝග නිකුත් කළ හැකිද?

හිටපු ඇමති ලේකම් අත්අඩංගුවට

මෙය PSTA කෙටුම්පතේ වඩාත්ම වැදගත් සහ විවාදයට ලක්විය යුතු විධිවිධානයකි.

සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීම සම්බන්ධයෙන් තීරණය කිරීම අධිකරණයේ කාර්යයකි. එහෙත් PSTA කෙටුම්පතේ 27 වැනි වගන්තිය මගින් වෙනස් ක්‍රමවේදයක් යෝජනා කර තිබේ.

එම වගන්තිය අනුව,

  1. පොලිස්පතිවරයාට හෝ ඔහු විසින් බලය පවරන ලද නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සැකකරුවකු රඳවා තබාගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකිය.

  2. එම ඉල්ලීම සලකා බැලීමෙන් පසු සාධාරණ හේතු පවතින බවට ලේකම්වරයා සෑහීමකට පත්වන්නේ නම් රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කළ හැකිය.

  3. එවැනි නියෝගයක් එක් වරකට මාස දෙකක් දක්වා නිකුත් කළ හැකිය.

  4. එවැනි නියෝග යටතේ රඳවා තබාගැනීමේ සමස්ත කාලය වසරක් නොඉක්මවිය යුතුය.

මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණ වන්නේ රඳවා තබාගැනීමේ නියෝගය නිකුත් කිරීමේ බලය අධිකරණයකට නොව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදීමයි.

එනම්, සැකකරුවකු සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කරන ඉල්ලීමක් මත විධායක බලධාරියකුට මාස දෙකක රඳවා තබාගැනීමේ නියෝගයක් නිකුත් කළ හැකිය.

මෙය පොලිසියට අධිකරණ බලය සෘජුව ලබාදීමක් නොවේ. එහෙත් පොලිසියේ ඉල්ලීම සහ විධායකයේ තීරණය එකට සම්බන්ධ කරමින් අධිකරණයේ සාමාන්‍ය රිමාන්ඩ් ක්‍රමයෙන් වෙනස් රඳවා තැබීමේ ක්‍රමයක් ඇති කරයි.

මෙහිදී තවත් බරපතළ ප්‍රශ්නයක් පවතී. පළමු මාස දෙකක රඳවා තබාගැනීමේ නියෝගය මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ විට එය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කිරීමට 26(3)(a) වගන්තිය මගින් මහේස්ත්‍රාත්වරයාට සිදුවේ. එම අවස්ථාවේදී එම නියෝගය ප්‍රතික්ෂේප කිරීමේ නිදහස් අභිමතයක් මහේස්ත්‍රාත්වරයාට ලබාදී නොමැත.

මෙය අධිකරණයේ ස්වාධීනත්වය සහ පුද්ගල නිදහස සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවකට ලක්විය යුතු කරුණකි.

5. වගන්තිය 28: රඳවා තබාගැනීම දීර්ඝ කිරීමේදී අධිකරණයට ඇති බලය

මහාධිකරණය දුන් තීන්දුව අහෝසි කර නඩුව මුල සිට විභාග කරන්න -අභියාචනාධිකරණය නියෝග කරයි - දිනමිණ

PSTA කෙටුම්පතේ 28 වැනි වගන්තිය අනුව මුල් මාස දෙකක කාලයෙන් පසුව සැකකරුවකු තවදුරටත් රඳවා තබාගැනීමට අවශ්‍ය නම් මහාධිකරණයේ අවසරය ලබාගත යුතුය.

මෙහිදී සැකකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට එම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙයි.

ප්‍රමාණවත් හේතු පවතින්නේ නම් මහාධිකරණයට රඳවා තබාගැනීම දීර්ඝ කළ හැකි අතර, එසේ කිරීමට ප්‍රමාණවත් හේතු නොමැති නම් එය ප්‍රතික්ෂේප කර සැකකරු රිමාන්ඩ් කිරීමට හෝ ඇප මත මුදාහැරීමටද හැකිය.

මෙය PTA යටතේ පැවති විධායක රඳවා තැබීමේ ක්‍රමයට සාපේක්ෂව හඳුන්වා දී ඇති වැදගත් අධිකරණ ආරක්ෂණයකි.

එහෙත් ප්‍රශ්නය වන්නේ පළමු මාස දෙක තුළ සැකකරුවකුගේ නිදහස සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය විධායකය සතුව පැවතීමයි.

ඒ අනුව අධිකරණයේ සෘජු අධීක්ෂණය යටතේ ආරම්භ නොවන රඳවා තැබීමේ කාලසීමාවක් මෙහි පවතී.

6. වගන්තිය 29: වසරක් දක්වා රිමාන්ඩ් කිරීමේ හැකියාව

police torture stories Archives - Page 2 of 10 - aithiya

PSTA කෙටුම්පතේ 29 වැනි වගන්තිය අනුව මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන සැකකරුවකු වසරක් දක්වා රිමාන්ඩ් භාරයේ තබාගත හැකිය.

එම කාලය තුළ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් නොකළහොත් මහාධිකරණය විසින් සැකකරු ඇප මත මුදාහැරිය යුතුය.

මෙහිදී අවධානයට ගත යුතු කරුණ වන්නේ සැකකරුවකුට එරෙහිව නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි සකස් කිරීම සඳහා පොලිසියට දීර්ඝ කාලයක් ලැබීමයි.

විමර්ශනවල ප්‍රමාදය හෝ පොලිසියේ අකාර්යක්ෂමතාව හේතුවෙන් සැකකරුවකුට වසරක් දක්වා නිදහස අහිමි වීමේ හැකියාව මෙයින් ඇතිවේ.

එසේම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් සැකකරුවකුට ඇප ලබාදිය හැක්කේ සුවිශේෂී අවස්ථාවලදී පමණි.

මෙහිදී වැදගත් වන්නේ සැකකරුවකු වරදකරු බවට ඔප්පු වන තෙක් නිර්දෝෂී පුද්ගලයකු ලෙස සැලකීමේ මූලධර්මයයි. විමර්ශනයක් අවසන් කිරීමට ගතවන කාලය පමණක් පදනම් කරගෙන පුද්ගලයකුගේ නිදහස දිගුකාලීනව අහිමි වීම සාධාරණද යන්න විමසා බැලිය යුතුය.

7. වගන්තිය 30: ස්වාධීන සමාලෝචන කමිටුවේ බලය කොපමණද?

මතවාද - MidPoint

රඳවා තබාගැනීමේ නියෝග සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීම සඳහා PSTA කෙටුම්පතේ 30 වැනි වගන්තිය මගින් ස්වාධීන සමාලෝචන කමිටුවක් (Independent Review Committee) පිහිටුවීමට යෝජනා කරයි.

එහි සාමාජිකයන් තිදෙනකු අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු එහි සභාපතිවරයා විය යුතුය.

මෙම කමිටුවට රඳවා තැබීමේ නියෝගයක අවශ්‍යතාව, නීත්‍යනුකූලභාවය සහ සමානුපාතිකභාවය සමාලෝචනය කර එය තහවුරු කිරීමට, වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට නිර්දේශ කළ හැකිය.

එහෙත් මෙහිදී මතු වන ප්‍රශ්නය වන්නේ කමිටුවට අවසන් තීරණ ගැනීමේ බලය නොමැති වීමයි. කමිටුවේ නිර්දේශය සලකා බලා අවසන් තීරණය ගනු ලබන්නේ අමාත්‍යවරයාය.

ඒ අනුව විධායකය විසින් නිකුත් කරන ලද රඳවා තැබීමේ නියෝගයක් සමාලෝචනය කිරීමේදී පවා අවසන් තීරණ ගැනීමේ බලය විධායකය සතුව පවතී.

මෙය සැබෑ ස්වාධීන අධීක්ෂණයක්ද යන්න ප්‍රශ්න කළ යුතුය.

8. වගන්ති 38 සහ 39: රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවකු නැවත පොලිස් විමර්ශනයට යොදාගැනීම

විදෙස් කතක් බලහත්කාරයෙන් තහනම් රැකියාවේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරාට වසර 10 ක සිරදඬුවම් | Sri Lanka News | Ada Derana | Truth First

මෙයද විශේෂ අවධානයට ලක්විය යුතු කරුණකි. සාමාන්‍යයෙන් රිමාන්ඩ් භාරයට පත්කරන ලද පුද්ගලයකු බන්ධනාගාර පාලනය යටතේ සිටී. පොලිසියට ඔහුගෙන් නැවත ප්‍රකාශ ලබාගැනීමට හෝ වැඩිදුර විමර්ශන සඳහා ඔහු වෙත ප්‍රවේශ වීමට අධිකරණ අවසර අවශ්‍ය වේ.

PSTA කෙටුම්පතේ 38 වැනි වගන්තිය අනුව මහේස්ත්‍රාත්වරයකුගේ නියෝගයක් මත,

  • රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවකු හමුවීමට,

  • ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට,

  • වැඩිදුර විමර්ශන සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට පොලිසියට හැකිය.

මෙහිදී බන්ධනාගාර නිලධාරියකුද සිටිය යුතුය.

එහෙත් 39 වැනි වගන්තිය මගින් තවත් පියවරක් ඉදිරිපත් කරයි.

වෙනත් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයකු PSTA යටතේ වරදකට සම්බන්ධ බවට විශ්වාසදායක තොරතුරු ලැබුණහොත්, පොලිසියට එම තොරතුරු නීතිපතිවරයා වෙත වාර්තා කළ හැකිය.

ඉන්පසු නීතිපතිවරයාගේ ඉල්ලීම මත මහාධිකරණයට අදාළ පුද්ගලයා නැවත පොලිස් රඳවා තැබීමේ ක්‍රමයට යොමු කිරීමට අවසර දිය හැකිය.

එවැනි රඳවා තැබීම සති දෙකක කාලසීමාවන් යටතේ සිදුකරන අතර, සමස්ත කාලය මාස හයකට සීමා කර ඇත. මහාධිකරණ විනිසුරුවරයා දින 14කට වරක් එය සමාලෝචනය කළ යුතුය. සැකකරු හුදකලාව හෝ ආරක්ෂිත භාරයේ තැබීමටද නියෝග කළ හැකිය.

මෙහිදී මතුවන ප්‍රශ්නය වන්නේ අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත්කර ඇති පුද්ගලයකු නැවත පොලිස් පාලනය යටතට පත්කිරීමේදී ඔහුගේ නීතිඥ සහාය, පෞද්ගලිකත්වය සහ වධහිංසාවෙන් ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද යන්නයි.

9. පොලිස් ප්‍රශ්න කිරීම් සහ වධහිංසාවෙන් ආරක්ෂා වීම

පොලිස් ස්ථානවලදී නීතිඥයකු නොමැතිව ප්‍රශ්න කිරීම ගැන සැලකිලිමත් විය යුතුයි - එක්සත් ජාතීන් - BBC News සිංහල

ශ්‍රී ලංකාවේ පොලිස් අත්අඩංගුවේදී සිදුවන වධහිංසා සහ අයුතු සැලකීම් පිළිබඳව දීර්ඝ කාලයක සිට මානව හිමිකම් සංවිධාන අවධානය යොමු කර තිබේ.

එවැනි පසුබිමක PSTA කෙටුම්පතේ ඇති ප්‍රශ්න කිරීමේ සහ රඳවා තැබීමේ බලතල සලකා බැලීමේදී සැකකරුවන්ට ලබාදෙන ආරක්ෂණ ඉතා වැදගත්ය.

කෙටුම්පතේ ඇතැම් සාධනීය ආරක්ෂණ ද ඇතුළත් කර තිබේ.

  • වගන්තිය 31 අනුව වධහිංසා හෝ අමානුෂික සැලකීමක් සිදුවී ඇති බවට මහේස්ත්‍රාත්වරයකුට සාධාරණ සැකයක් ඇති වුවහොත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතුය.

  • වගන්තිය 33 අනුව මහේස්ත්‍රාත්වරයාට පූර්ව දැනුම්දීමකින් තොරව අනුමත රඳවා තැබීමේ ස්ථාන පරීක්ෂා කිරීමට සහ සැකකරුවන් සමඟ සාකච්ඡා කිරීමට හැකිය.

  • වගන්තිය 36 අනුව මානව හිමිකම් කොමිෂන් සභාවේ බලයලත් නිලධාරීන්ටද එවැනි ස්ථාන පරීක්ෂා කිරීමට හැකිය.

  • වගන්තිය 40 අනුව රිමාන්ඩ් හෝ රඳවා තැබීමේ සිටින පුද්ගලයකුට නීතිඥයකු සහ ඥාතීන් සමඟ සන්නිවේදනය කිරීමට සහ හමුවීමට අයිතිය ලබාදෙයි.

මෙවැනි ආරක්ෂණ තිබීම වැදගත් වුවත් ඒවායේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම තීරණාත්මකය.

විශේෂයෙන්ම අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට නීතිඥ සහාය ලබාගැනීම, ප්‍රශ්න කිරීම්වල ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම් පවත්වාගෙන යාම සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා ක්ෂණික ප්‍රවේශය සහතික කළ යුතුය.

එසේ නොමැති නම් නීතියේ සඳහන් ආරක්ෂණ ප්‍රායෝගිකව ප්‍රතිඵල රහිත විය හැකිය.

10. PTA සහ PSTA: වෙනස්කම් මොනවාද?

පනත් දෙක සංසන්දනය කිරීමේදී වෙනස්කම් සහ අඛණ්ඩව පවතින ගැටලු දෙකම හඳුනාගත යුතුය.

PTA යටතේ පැය 72ක පොලිස් භාරය සහ මාස 18ක උපරිම විධායක රඳවා තැබීමේ කාලය සම්බන්ධයෙන් තොරතුරු පවතින අතර PSTA යටතේ එම ක්‍රමවේදය වෙනස් කර තිබේ.

එහෙත් PSTA හි වගන්ති 27, 29, 39 සහ 54 එකට සලකා බැලීමේදී තවත් කරුණක් පැහැදිලි වේ. වගන්තිය 39 යටතේ රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයකු මාස හයක් දක්වා නැවත රඳවා තැබීමට හැකි අතර, නඩු විභාගය ආරම්භ වූ පසුව වගන්තිය 54 යටතේද විශේෂ රඳවා තැබීමේ නියෝගයක් ලබාගත හැකිය. එබැවින් වසරක කාලය සමස්ත අත්අඩංගුවේ හෝ රඳවා තැබීමේ කාලය සඳහා සම්පූර්ණ සීමාවක් ලෙස අර්ථකථනය කිරීම නිවැරදි නොවේ.

11. ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන පෙන්වා දෙන අනතුරු ඇඟවීම්

HRW Logo - Human Rights Watch - PNG Logo Vector Brand Downloads (SVG, EPS)

PSTA පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ගණනාවක් කරුණු ඉදිරිපත් කර තිබේ.

මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) 2026 ඔක්තෝබර් 05 වැනිදා නිකුත් කළ ප්‍රකාශයෙන් පෙන්වා දෙන්නේ නව පනත් කෙටුම්පත යටතේ පුළුල් සෝදිසි කිරීමේ සහ අත්අඩංගුවට ගැනීමේ බලතල, ප්‍රමාණවත් නොවන අධිකරණ අධීක්ෂණය සහ විධායක රඳවා තැබීමේ බලතල තවදුරටත් පවතින බවයි. එම සංවිධානයට අනුව නව පනත මගින් PTA යටතේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීමේ අවදානම පවතී.

Centre for Policy Alternatives (CPA) 2026 ඔක්තෝබර් 02 වැනිදා නිකුත් කළ ප්‍රකාශයෙන් පෙන්වා දෙන්නේ PSTA කෙටුම්පත පැරණි PTA නීතියේ මූලික ගැටලු සහිත නීතිමය ව්‍යුහය බොහෝ දුරට පවත්වාගෙන යන බවයි. විධායක රඳවා තැබීම, හමුදාවට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලතල ලබාදීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සීමා වීම එහි ප්‍රධාන අවධානයට ලක්වූ කරුණු වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය (OHCHR) 2026 ඔක්තෝබර් 13 දිනැති නිරීක්ෂණ 2026 ඔක්තෝබර් 30 වැනිදා ප්‍රසිද්ධියට පත් කරමින් පනත් කෙටුම්පත සැලකිය යුතු ලෙස නැවත සකස් කළ යුතු බව අවධාරණය කර තිබේ.

එම නිරීක්ෂණවලින් විශේෂයෙන්,

  • සෑම අත්අඩංගුවට ගැනීමක් සහ රඳවා තැබීමක් සඳහාම කඩිනම් ස්වාධීන අධිකරණ අධීක්ෂණයක් අවශ්‍ය බව,

  • සෝදිසි කිරීම් සඳහා අධිකරණ වරෙන්තුව සාමාන්‍ය රීතිය විය යුතු බව,

  • හමුදා මැදිහත්වීම වෙනුවට සිවිල් පොලිස් බලය ප්‍රමුඛ විය යුතු බව,

  • විධායක රඳවා තැබීමේ බලතල සීමා කළ යුතු බව,

  • නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්, වධහිංසා සහ බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ වගකීම්වලින් නිලධාරීන්ට මුක්තියක් නොලැබිය යුතු බව

නිර්දේශ කර ඇත.

12. එසේ නම් PSTA මගින් සැබෑ වෙනසක් සිදුවී තිබේද?

Sunday Lankadeepa

PSTA කෙටුම්පතේ ඇතැම් වෙනස්කම් සාධනීය බව පිළිගත යුතුය.

විශේෂයෙන්ම පොලිසියට ලබාදෙන පාපොච්චාරණ ඒ ආකාරයෙන්ම සාක්ෂි ලෙස පිළිගැනීමේ PTA ක්‍රමවේදය ඉවත් කිරීම, අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය 48ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීම, රඳවා තැබීමේ ස්ථාන පරීක්ෂා කිරීමට මහේස්ත්‍රාත්වරුන්ට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට බලය ලබාදීම සහ නීතිඥ සහාය සම්බන්ධ විධිවිධාන හඳුන්වාදීම වැදගත් වෙනස්කම් වේ.

එහෙත් මෙම වෙනස්කම් තිබීමෙන් පමණක් නව නීතිය මානව හිමිකම් ආරක්ෂා කරන නීතියක් බවට පත්වන්නේ නැත.

ප්‍රධාන ගැටලුව පවතින්නේ අත්අඩංගුවට ගැනීමේ සිට රඳවා තැබීම දක්වා වූ ක්‍රියාවලියේදී පොලිසියට සහ විධායකයට ලබාදෙන අසාමාන්‍ය බලතල තවදුරටත් පැවතීමයි.

සාධාරණ සැකයක් මත වරෙන්තුවකින් තොරව සෝදිසි කිරීමට හැකිවීම, හමුදා සාමාජිකයන්ට අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදීම, පොලිසියේ ඉල්ලීම මත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට රඳවා තැබීමේ නියෝග නිකුත් කිරීමට හැකිවීම සහ රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයන් නැවත රඳවා තැබීමේ හැකියාව එහි ප්‍රධාන ගැටලු වේ.

එසේම වගන්තිය 69 යටතේ ජනාධිපතිවරයාට පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කිරීමේ බලයද ලබාදී තිබේ. වගන්තිය 70 අනුව වෙනත් ලිඛිත නීතියක විධිවිධානයක් සමඟ ගැටුමක් ඇති වුවහොත් PSTA හි විධිවිධාන ප්‍රමුඛ වේ.

මෙවැනි තත්ත්වයක් තුළ නීතියේ බලය ක්‍රියාත්මක කරන ආයතනවල අභිමතය පාලනය කිරීමට පැහැදිලි සහ බලවත් ස්වාධීන යාන්ත්‍රණ අවශ්‍ය වේ.

නිගමනය: ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතියක් තිබිය යුතුය. එහෙත් එය පුරවැසියාගේ නිදහසට තර්ජනයක් නොවිය යුතුය.

UN human rights office warns Sri Lanka's new terror bill repeats failings of the PTA | Tamil Guardian

ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම රජයක වගකීමකි. ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීමට සහ එවැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජයට අවශ්‍ය නීතිමය බලතල තිබිය යුතුය.

එහෙත් එම බලතල ලබාදීමේදී පුද්ගල නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය කැප කළ නොහැකිය.

ශ්‍රී ලංකාවේ PTA ඉතිහාසය අපට පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති දේශපාලන අරමුණු සඳහා, විරුද්ධ මත දරන්නන්ට එරෙහිව හෝ මානව හිමිකම් ආරක්ෂා කරන ක්‍රියාකාරීන්ට එරෙහිව භාවිත වීමේ අවදානමයි.

එබැවින් PSTA සම්බන්ධයෙන් රජය විසින් පිළිතුරු දිය යුතු ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් තිබේ.

  1. පොලිසියට වරෙන්තුවකින් තොරව පරිශ්‍ර සෝදිසි කිරීමේ බලය ලබාදෙන විට එම බලය අනිසි ලෙස භාවිත කිරීම වැළැක්වීමට ඇති ස්වාධීන පාලන යාන්ත්‍රණය කුමක්ද?

  2. පොලිසියේ ඉල්ලීම මත විධායක නිලධාරියකුට මාස දෙකක රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කිරීමට බලය ලබාදීම අධිකරණයේ ස්වාධීනත්වය සමඟ ගැළපෙන්නේ කෙසේද?

  3. හමුදාවට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමේ බලය ලබාදෙන විට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකීම දරන්නේ කවුරුන්ද?

  4. සැකකරුවකු වසරක් දක්වා රඳවා තබාගැනීමට හැකි අවස්ථාවක ඔහුගේ නිදහස සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේද?

අවසානයේදී වැදගත් වන්නේ PTA යන නම වෙනස් කර PSTA යන නම යෙදීම නොවේ. වැදගත් වන්නේ එම නීතිය යටතේ රාජ්‍ය බලය භාවිත කිරීමේදී පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා වන බව සහතික කිරීමයි.

ජාතික ආරක්ෂාව ආරක්ෂා කළ යුතුය. එහෙත් ජාතික ආරක්ෂාව යන නාමයෙන් පුරවැසියාගේ නිදහස අනාරක්ෂිත කළ නොහැකිය.

– ප්‍රසාද් රණසිංහආරච්චි

Social Sharing
අවකාශය නවතම විශේෂාංග