විෂමාචාර චෝදනා මත අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් සේවයෙන් පහ කරයි!


විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කාන්තාවන් සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක ඉහළ කත්තිරුගේ දොන් ගිහාන්ත ලක්ෂාන් මහතා පොලිස් සේවයෙන් පහ කර තිබේ.

පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම සේවයෙන් පහ කිරීමේ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අදාළ නිලධාරියා 2019 දෙසැම්බර් 16 වැනිදා සිට 2021 ඔක්තෝබර් 5 වැනිදා දක්වා බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ කාලසීමාව තුළ විවිධ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනාවලට ලක්ව තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව DIG/JR/DISC/159/2023 අංකය යටතේ 2024 පෙබරවාරි 11 වැනිදා සංශෝධිත චෝදනා පත්‍රයක් ද ඔහු වෙත භාර දී ඇත. එම චෝදනා පත්‍රයේ සඳහන් චෝදනාවලට අදාළ නිලධාරියා වරද පිළිගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව ඔහුට ලබා දී ඇති දඬුවම පොලිස් සේවයෙන් පහ කිරීම වන අතර, පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ රජයෙන් ඔහු වෙත ලබා දී ඇති සියලුම දේපළ අකුරැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාර දෙන ලෙස මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතා ලිඛිතව දැනුම් දී තිබේ.

මේ අතර, අදාළ නිලධාරියාට එරෙහිව තවත් බරපතළ චෝදනාවක් පසුගිය අප්‍රේල් 14 වැනිදා සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනයේදී එල්ල වී තිබිණි. ඒ, අකුරැස්ස ප්‍රදේශයේ පැවති අවුරුදු සාදයකට සහභාගි වූ පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ පහක මුදලක් කොල්ලකෑ බවට එල්ල වූ චෝදනාවකි.

වින්දිතයන් පවසන පරිදි, අකුරැස්ස පෝරඹ පටුමග ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු සාදයකින් අනතුරුව රාත්‍රී 7.30ට පමණ නිවෙස් බලා යමින් සිටි පුද්ගලයන් අටදෙනෙකු අවිගත් නිලධාරීන් සිව්දෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිල ඇඳුමින් තොරව පැමිණි එම නිලධාරීන් පිරිස අදාළ පුද්ගලයන් වෑන් රථයකට නංවාගෙන බියගන්වා පොලිසිය දෙසට රැගෙන ගොස් ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. පසුව කොල්ලකෑ බව කියන මුදලින් කොටසක් පමණක් ආපසු ලබා දී, සිද්ධිය පිළිබඳ කිසිවෙකුට හෙළි නොකරන ලෙස තර්ජනය කර පොලිස් ඇප මත ඔවුන් මුදාහැර ඇති බව වින්දිතයෝ පවසති.

කෙසේ වෙතත්, මෙම මුදල් කොල්ලකෑම සම්බන්ධ චෝදනාව සහ පොලිස් සේවයෙන් පහ කිරීමට හේතු වූ විනය පරීක්ෂණය එකිනෙකට සම්බන්ධද යන්න පිළිබඳව ලබා දී ඇති තොරතුරුවලින් පැහැදිලි නොවේ.

 

Social Sharing
නවතම පුවත්