
හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් 20කට ආසන්න පිරිසකට අදාළ විමර්ශන ලිපිගොනු පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් මෑතකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර දී තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සඳහන් කර ඇත්තේ, පොලිස් වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය කරගත් සියලු තොරතුරු මෙලෙස අල්ලස් කොමිසම වෙත භාරදී ඇති බවයි.
මේ අතර, අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් දේශපාලනඥයන් 55කට අධික පිරිසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මේ වන විට සෘජු විමර්ශන පවත්වමින් සිටී.
ඊට අමතරව දිවයින පුරා විවිධ තරාතිරම්වල පුද්ගලයන් 500කට අධික පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් ද විමර්ශන ක්‍රියාත්මක වන අතර, එම පිරිස අතර හිටපු මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් 60කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ.
තවද, හිටපු කැබිනට් අමාත්‍යවරුන් 16 දෙනෙකුට එරෙහිව බලය අනිසි ලෙස භාවිත කිරීම සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සෘජු විමර්ශන පැවැත්වෙමින් පවතී.
පසුගිය කාලසීමාව තුළ සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දේශපාලනඥයන් මෙන්ම ඔවුන්ගේ සමීපතමයන් වන හිටපු අමාත්‍යවරුන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන් ඇතුළු පිරිස් ද අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු පමණ අධිකරණය හමුවේ වරදකරුවන් වී දඬුවම් ලබා ඇති බව ද සඳහන් වේ.
නව පනත් සංශෝධන හරහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අල්ලස් හා දූෂණ චෝදනා මෙන්ම නීතිවිරෝධී ලෙස වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පුළුල් බලතල හිමිව තිබේ.
මෙම පසුබිම තුළ දේශපාලනඥයන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුද්ගලයන්ගේ වත්කම් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවදුරටත් පුළුල් වී ඇති බව මෙම තොරතුරුවලින් පෙනී යයි.
