හෝමාගම පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හෙට මානව හිමිකම් කොමිසමට!

 

හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අදාළ පොලිස් නිලධාරීන්ට 2026 ඔක්තෝබර් 29 වැනිදා පස්වරු 1.30ට කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයාට පහරදීම හේතුවෙන් මරණය සිදුවූ බවට මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසින් ස්වයං මැදිහත්වීමෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් ද පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව, විමර්ශන කටයුතු සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන් හෝමාගම පොලිස් ස්ථානයට ගොස් අදාළ තොරතුරු ලබාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගේ ප්‍රකාශ ද සටහන් කරගෙන තිබේ.

පොලිස් අත්අඩංගුවේදී සිදුවන මරණ සම්බන්ධයෙන් මීට පෙර ලැබුණු පැමිණිලි අධ්‍යයනය කිරීමේදී, 2020 ජනවාරි මාසයේ සිට 2025 මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ මරණ 49ක් සහ අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය සමඟ ඇති වූ ගැටුම්වලදී සිදුවූ මරණ 30ක් වාර්තා වී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව අනාවරණය කර තිබේ.

මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් කොමිෂන් සභාව විසින් සකස් කර පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත් කර ඇත. එම මාර්ගෝපදේශ චක්‍රලේඛයක් මගින් සියලුම පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට ද පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

කෙසේ වෙතත්, හෝමාගම සිදුවීම සම්බන්ධයෙන් දැනට සිදුකරන විමර්ශනයේදී අදාළ පොලිස් නිලධාරීන් එම මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කර නොමැති බව අනාවරණය වී ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

තවද, මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍යවරයාගෙන් අදාළ වාර්තා කැඳවීමට ද කොමිෂන් සභාව තීරණය කර තිබේ.

පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මියයාමේ සිදුවීම් අඛණ්ඩව වාර්තාවීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කරන මානව හිමිකම් කොමිෂන් සභාව, විමර්ශන කටයුතු අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් අවසන් තීරණය නිකුත් කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.

Social Sharing
නවතම පුවත්