
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය තරුණයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින්, මෘත දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර විවෘත තීන්දුවක් ලබාදීමට ඊයේ (27) පියවර ගත් බව කළුබෝවිල ශික්ෂණ රෝහල සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මූනමලේ වත්ත ප්රදේශයේ පදිංචි ඉෂාර හර්ෂ කුමාර නමැති එක්දරු පියෙකි.
පසුගිය 25 වැනිදා අලුයම හෝමාගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වෛද්යවරුන් ප්රකාශ කර ඇත.
කෙසේ වෙතත්, මියගිය තරුණයාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් චෝදනා කරන්නේ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට සිදුකළ අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාස භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්රධානත්වයෙන් අභ්යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මේ අතර, මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා කඩිනම් විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා හෝමාගම පොලිසියට සහ මෘත දේහය තැන්පත් කර තිබූ හෝමාගම රෝහලට පැමිණ මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර ඇත. අනතුරුව, මෘත දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් විශේෂඥ වෛද්යවරයකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර තිබේ.
මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීම සඳහා දේහයේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, මරණය සම්බන්ධයෙන් අවසන් නිගමනයක් ලබාගැනීමට අදාළ පරීක්ෂණ වාර්තා තීරණාත්මක වනු ඇත.
