
SC/FR/01/25 අංක යටතේ ගිම්මාන තරුෂ කුමාර යන පෙත්සම්කරුවන් විසින් හබරාදූව පොලීසියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වදහිංසනයකට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් නඩුව ඉකුත් 12 වනදා ශ්රේෂ්ඨාධිකරණයේ කැදවන ලදී. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක මහතාගේ උපදෙස් මත නීතිඥ ශාන්ත ජයවර්ධන සමග නීතිඥ නිරෝෂිකා වෑගිරිය පෙනී සිටින ලද අතර 1 වගඋත්තරකාර පොලිස් නිලධාරීයා වෙනුවෙන් නිකොල් ඇසෝසියේට් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ මිගාර ගුණරත්න මහතා පෙනී සිටින ලද අතර, 2 සිට 6 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ දහරා විජේසිංහ මියගේ උපදෙස් මත නීතිඥ විශ්ව ඩි ලිවේරා මහතා පෙනී සිටින ලදී. 7 හා 8 වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිතුමා වෙනුවෙන් රජයේ නීතිඥවරයකු පෙනී සිටින ලදී.
ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 11 ව්යවස්ථාවෙන් හා 12(1) හා 13 (1) ව්යවස්ථාවන්ගෙන් පෙත්සම්කරුවන්ට හිමි වී ඇති මූලික අයිතිවාසිකම් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ගේ ක්රියාකලාපයෙන් උල්ලංඝනය වී ඇති බව පෙත්සම්කරුවන්ගේ පෙත්සමෙන් කරුණු දක්වා තිබුණු අතර ඒ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් විසින් විරෝධතා ගොනු කරනු ලැබ තිබුණි. ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න තීරණය කිරීම සදහා ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ මෙම පෙත්සම පසුගිය ඔක්තෝබර් 12 දින කැදවනු ලැබීය.
ඒ අනුව පෙත්සම්කාර පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිඥයන් විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් විනිසුරු මඩුල්ල මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලදී.
ගරු ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන , අර්ජුන ඔබේසේකර හා සෝභිත රාජකරුණා යන විනිසුරු මණ්ඩලය ඉදිරියේ මෙම නඩුව කැදවා තිබුණි.
